2 සාමුවෙල් 12
12
දිවැසිවර නාතාන්ගේ තරවටුව
1 ස්වාමින්වහන්සේ දාවිත් වෙත නාතාන් යැවූ සේක. ඔහු දාවිත් වෙත අවුත්, ඔහු අමතමින්, “එක් නගරයක මිනිසුන් දෙදෙනෙක් සිටියා. ඉන් කෙනෙක් පොහොසතෙක්; අනෙකා දුප්පතෙක්. 2ධනවතාට අති මහත් ගණනාවක් බැටළුවන් සහ ගවයින් හිටියා. 3එනමුත් දුප්පත් මිනිසාට ඔහු මිල දී ගෙනැවිත් සිටි බැටළු පැටවියක මිස අන් කිසිවක් තිබුණේ නෑ. ඔහු, ඇය ඇතිදැඩි කළා. ඈ ඔහු ද ඔහුගේ දරුවන් ද සමඟ වැඩුණා. ඔහුගේ ආහාරයට පංගුකාර වූවා. ඔහුගේ කුසලානෙන් බීවා. ඔහුගේ තුරුලේ නිදාගත්තා. ඇය ඔහුට දුවක මෙන් වූවා.
4“දිනක්, පොහොසත් මිනිසා වෙත සංචාරකයෙක් ආවා. තමා වෙත පැමිණි සංචාරකයාට සංග්‍රහ කිරීමට තමාගේ ම බැටළුවන් හෝ ගවයින් ගැනීමට කැමති නො වූ පොහොසතා, දුප්පත් මිනිසා සතු ව සිටි බැටළු පැටවිය ගෙන, තමා වෙත පැමිණි සංචාරකයාට සංග්‍රහ කළා” යි කීවේ ය.
5එවිට ඒ මිනිසාට එරෙහිව දැඩි සේ කෝපයෙන් ඇවිළුණු දාවිත්, නාතාන් අමතමින්, “ස්වාමින්වහන්සේ ජීවත් වන්නා සේ ම ඒ දේ කළ මිනිසා සුදුසු මරණයටයි. 6ඔහු ඒ දේ කළ නිසාත්, අනුකම්පා නො කළ නිසාත් බැටළු පැටවිය වෙනුවට ඔහු සතර ගුණයක් ගෙවිය යුතු යැ” යි කීවේ ය.
7එවිට නාතාන්, දාවිත්ට කතා කොට, “ඔබයි ඒ මිනිසා! ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ‘ඉශ්‍රායෙල් රජකමට මම ඔබ ආලේප කළෙමි. සාවුල් අතින් මම ඔබ ගලවා ගතිමි. 8ඔබේ හාම්පුතාගේ ගෘහ වාසීන් ඔබට මම දුනිමි. ඔබේ හාම්පුතාගේ බිරින්දෑවරුන් මම නුඹේ තුරුලට දුනිමි. ඉශ්‍රායෙල් හා යූදා වංශය මම නුඹට දුනිමි. ඒ දෑ සියල්ල නුඹට නො සෑහේ නම්, මම නුඹට තව තවත් එකතු කරන්නෙමි. 9උන්වහන්සේගේ ඇස් හමුවේ දුෂ්ටකම් කිරීමට ස්වාමින්වහන්සේගේ වචනයට නුඹ නිගරු කළේ ඇයි? නුඹ හිත්තීය ඌරියා කඩුවෙන් ගසා හෙළා, ඔහුගේ බිරිඳ, නුඹේ බිරිඳ කර ගෙන ඇත. නුඹ අම්මොන්වරුන්ගේ කඩුපතින් ඔහු මරා දැමී ය. 10එබැවින් කඩුපත කිසි දින ඔබේ වංශය හැර යන්නේ නැත. මන්ද නුඹ මට නිගරු කරමින්, හිත්තීය ඌරියාගේ බිරිඳ නුඹේ බිරිඳ කර ගත් බැවිනි.’
11“ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ‘මම නුඹේ ම ගෘහ වාසීන් අතරින් නුඹ පිටට විපත්තිය ගෙනෙන්නෙමි. නුඹේ ඇස් පනා පිටදී නුඹේ භාර්යාවන් ගෙන, නුඹේ සමීපතමයකුට දෙන්නෙමි. නුඹේ භාර්යාවන් සමඟ ඔහු මේ හිරු ඉදිරිපිට ම රමණය කරනු ඇත. 12නුඹ හොර රහසේ එය කළ නමුදු, මම හිරු ඉදිරිපිට ම ඉශ්‍රායෙල් සියල්ලන් ඉදිරියේ ඒ දේ කරන්නෙමි’ යි” පැවසී ය.
13එවිට දාවිත්, නාතාන් අමතමින්, “ස්වාමින්වහන්සේට එරෙහිව මම පව් කළෙමි” යි කීවේ ය.
නාතාන් පිළිතුරු දෙමින්, “ස්වාමින්වහන්සේ ඔබේ පාපය ඉවත දැමූ සේක. ඔබට මැරෙන්නට සිදු නො වේ. 14එහෙත් ඔබ කළ මේ දේ හේතුවෙන් ඔබ ස්වාමින්වහන්සේට#12:14 ස්වාමින්වහන්සේට පැරණි හෙබ්‍රෙව් ලේඛන සම්ප්‍රදායක් අනුව ය; මසෝරා ලියවිල්ල ස්වාමින්වහන්සේගේ සතුරන්ට අවමන් කර ඇත. ඔබට උපදින දරුවා මියෙනු ඇතැ” යි කීවේ ය.
15ඉන්පසු නාතාන් තමාගේ ගෙදර ගියේ ය. ඌරියාගේ බිරිඳ දාවිත් නිසා බිහි කළ දරුවාට ස්වාමින්වහන්සේ පහර දුන් සේක. ඔහුට තදින් අසනීප විය. 16දාවිත් එබැවින් දරුවා ගැන දෙවියන්වහන්සේට කන්නලව් කළේ ය. දාවිත් නිරාහාර ව, බිම වැතිර, මුළු රැය ම ගත කළේ ය. 17බිමින් ඔහු නැගිටුවන අදහසින් ඔහුගේ ගෘහවාසී වැඩිහිටියෝ ඔහු පසෙකින් සිටගෙන වුන්හ. එහෙත් ඔහු එසේ කිරීම ප්‍රතික්ෂේප කළේ ය. ඔහු ඔවුන් සමඟ කිසි අහරක් ගත්තේ ද නැත.
18හත් වන දවසේ දරුවා මියැදුණේ ය. දරුවා මළ වග දාවිත්ට දන්වන්නට ඔහුගේ සේවකයෝ භය වූහ. ඔවුන් කීවේ, “බලන්න! දරුවා ජීවත් ව සිටියදී අප ඔහුට කතා කළ විට, ඔහු අපට සවන් දුන්නේ නැහැ. එසේ නම් දරුවා මළ වග අප ඔහුට කෙසේ කියන්න ද? ඔහු කිසියම් වින්නැහියක් කර ගනී දෝ” යි කියා ය.
19තම සේවකයින් එකිනෙකාට කොඳුරන අයුරු දුටු දාවිත්, දරුවා මිය ගිය වග වටහා ගත්තේ ය. “දරුවා මියැදුණේදැ?” යි ඔහු ඇසී ය.
“එහෙමයි, ඔහු මිය ගියා යැ” යි ඔවුහු කීහ.
20එවිට දාවිත් බිමින් නැගිට, දෝවනය කර, ආලේපන ගල්වා, වෙනත් ඇඳුම් ඇඟ ලා, ස්වාමින්වහන්සේගේ ගෘහයට ඇතුල් ව, නමස්කාර කළේ ය. ඉන්පසු ඔහු තමාගේ නිවසට ගියේ ය. ඔහුගේ ඉල්ලීම පිට, ඔවුහු ඔහුට ආහාර පිළිගැන් වූහ. ඔහු අහර ගත්තේ ය.
21එවිට ඔහුගේ සේවකයෝ ඔහු අමතමින්, “ඔබ මෙලෙස හැසිරෙන්නේ මොකද? දරුවා ජීවත් ව සිටියදී ඔබ නිරාහාර ව හැඬුවා. ඒත් දැන් දරුවා මියැදී ඇති විට ඔබ නැගිට ආහාර ගනී!” යි කීහ.
22ඔහු පිළිතුරු දෙමින්, “දරුවා ජීවත් ව සිටියදී මම නිරාහාර ව හැඬුවෙමි. එසේ කළේ, ‘ස්වාමින්වහන්සේ මට කාරුණික වී, දරුවාට ජීවිත දානය දේවි ද කියා දන්නේ කවුරු ද?’ කියා මා සිතූ නිසයි. 23එහෙත් දැන් ඔහු මිය ගොසින්. මා නිරාහාර ව සිටින්නේ කුමට ද? ඔහු නැවත ගෙනෙන්නට මට පුළුවන් ද? මා ඔහු ළඟට යනවා විනා, ඔහු මා ළඟට ආපසු එන්නේ නැතැ” යි කීවේ ය.
24ඉන්පසු දාවිත් තම බිරිඳ වූ බැත්ෂෙබා සැනසී ය. ඔහු ඇය වෙත ගොස්, ඇය හා එක් වුණේ ය. ඈ පුතකු බිහි කළා ය. ඔවුහු ඔහුට සාලමොන් යැයි නම් තැබූහ. ස්වාමින්වහන්සේ ඔහුට ප්‍රේම කළ සේක. 25උන්වහන්සේ නාතාන් දිවැසිවරයා අත පණිවුඩ යැවූ සේක. එබැවින් ඔහු ස්වාමින්වහන්සේ උදෙසා ඔහුට යෙදීදියා#12:25 යෙදීදියා එනම් ස්වාමින්වහන්සේ විසින් ප්‍රේම කරන ලද යන නම තැබී ය.
26මේ අතර යෝවාබ්, අම්මොන්වරුන්ගේ රබ්බා පුරයට එරෙහිව සටන් වැද, රාජකීය බළකොටුව අල්ලා ගත්තේ ය. 27ඉන්පසු යෝවාබ්, දාවිත් වෙත පණිවුඩකරුවන් යවමින්, “මා රබ්බාට එරෙහිව සටන් වැද, ජල පුරවරය අල්ලා ගත්තා. 28එබැවින් සෙසු සෙබළුන් රැස් කරවා, පුරවරය වටලා, එය අල්ලා ගන්න. නැතහොත් මා එපුර අල්ලා ගනීවි. එය මගේ නමින් නම් කෙරෙනු ඇතැයි” යි දැන්වී ය.
29එබැවින් දාවිත් මුළු හමුදාව රැස් කොට, රබ්බා බලා ගොස්, ඊට පහර දී, එය අල්ලා ගත්තේ ය. 30ඔහු ඔවුන්ගේ රජුගේ#12:30 ඔවුන්ගේ රජුගේ හෙවත් මිල්කොම් හිසෙන් ඔටුන්න ගත්තේ ය. එහි බර රත්රන් තලෙන්තයක්#12:30 කිලෝග්‍රෑම් 34ක් පමණ විය. එහි අනර්ඝ ගලක් ඔබ්බවා තිබිණි. එම ඔටුන්න දාවිත්ගේ හිසේ තබන ලදී. ඔහු පුරවරයෙන් අති මහත් ප්‍රමාණයක කොල්ලයක් ගත්තේ ය. 31ඔහු එහි ජනයා පිටතට රැගෙන අවුත්, කියත්, යකඩ ගල්කටු හා පොරෝවලින් බර වැඩෙහි යොදවා, ඔවුන් ගඩොල් සෑදීමෙහි යෙදවී ය.#12:31 හෙබ්‍රෙව් භාෂාවෙන් මෙම වාක්‍ය කණ්ඩයේ තේරුම පැහැදිලි නැත. ඔහු අම්මොන්වරුන්ගේ සියලු නගරවලට එසේ කළේ ය. ඉන්පසු දාවිත් හා ඔහුගේ මුළු මහත් හමුදාව ආපසු යෙරුසලමට ආහ.
දැනට තෝරාගෙන ඇත:
2 සාමුවෙල් 12: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.