2 සාමුවෙල් 12:13-23

2 සාමුවෙල් 12:13-23 SCV

එවිට දාවිත්, නාතාන් අමතමින්, “ස්වාමින්වහන්සේට එරෙහිව මම පව් කළෙමි” යි කීවේ ය. නාතාන් පිළිතුරු දෙමින්, “ස්වාමින්වහන්සේ ඔබේ පාපය ඉවත දැමූ සේක. ඔබට මැරෙන්නට සිදු නො වේ. එහෙත් ඔබ කළ මේ දේ හේතුවෙන් ඔබ ස්වාමින්වහන්සේට අවමන් කර ඇත. ඔබට උපදින දරුවා මියෙනු ඇතැ” යි කීවේ ය. ඉන්පසු නාතාන් තමාගේ ගෙදර ගියේ ය. ඌරියාගේ බිරිඳ දාවිත් නිසා බිහි කළ දරුවාට ස්වාමින්වහන්සේ පහර දුන් සේක. ඔහුට තදින් අසනීප විය. දාවිත් එබැවින් දරුවා ගැන දෙවියන්වහන්සේට කන්නලව් කළේ ය. දාවිත් නිරාහාර ව, බිම වැතිර, මුළු රැය ම ගත කළේ ය. බිමින් ඔහු නැගිටුවන අදහසින් ඔහුගේ ගෘහවාසී වැඩිහිටියෝ ඔහු පසෙකින් සිටගෙන වුන්හ. එහෙත් ඔහු එසේ කිරීම ප්‍රතික්ෂේප කළේ ය. ඔහු ඔවුන් සමඟ කිසි අහරක් ගත්තේ ද නැත. හත් වන දවසේ දරුවා මියැදුණේ ය. දරුවා මළ වග දාවිත්ට දන්වන්නට ඔහුගේ සේවකයෝ භය වූහ. ඔවුන් කීවේ, “බලන්න! දරුවා ජීවත් ව සිටියදී අප ඔහුට කතා කළ විට, ඔහු අපට සවන් දුන්නේ නැහැ. එසේ නම් දරුවා මළ වග අප ඔහුට කෙසේ කියන්න ද? ඔහු කිසියම් වින්නැහියක් කර ගනී දෝ” යි කියා ය. තම සේවකයින් එකිනෙකාට කොඳුරන අයුරු දුටු දාවිත්, දරුවා මිය ගිය වග වටහා ගත්තේ ය. “දරුවා මියැදුණේදැ?” යි ඔහු ඇසී ය. “එහෙමයි, ඔහු මිය ගියා යැ” යි ඔවුහු කීහ. එවිට දාවිත් බිමින් නැගිට, දෝවනය කර, ආලේපන ගල්වා, වෙනත් ඇඳුම් ඇඟ ලා, ස්වාමින්වහන්සේගේ ගෘහයට ඇතුල් ව, නමස්කාර කළේ ය. ඉන්පසු ඔහු තමාගේ නිවසට ගියේ ය. ඔහුගේ ඉල්ලීම පිට, ඔවුහු ඔහුට ආහාර පිළිගැන් වූහ. ඔහු අහර ගත්තේ ය. එවිට ඔහුගේ සේවකයෝ ඔහු අමතමින්, “ඔබ මෙලෙස හැසිරෙන්නේ මොකද? දරුවා ජීවත් ව සිටියදී ඔබ නිරාහාර ව හැඬුවා. ඒත් දැන් දරුවා මියැදී ඇති විට ඔබ නැගිට ආහාර ගනී!” යි කීහ. ඔහු පිළිතුරු දෙමින්, “දරුවා ජීවත් ව සිටියදී මම නිරාහාර ව හැඬුවෙමි. එසේ කළේ, ‘ස්වාමින්වහන්සේ මට කාරුණික වී, දරුවාට ජීවිත දානය දේවි ද කියා දන්නේ කවුරු ද?’ කියා මා සිතූ නිසයි. එහෙත් දැන් ඔහු මිය ගොසින්. මා නිරාහාර ව සිටින්නේ කුමට ද? ඔහු නැවත ගෙනෙන්නට මට පුළුවන් ද? මා ඔහු ළඟට යනවා විනා, ඔහු මා ළඟට ආපසු එන්නේ නැතැ” යි කීවේ ය.

මෙයට අදාළ වීඩියෝ

2 සාමුවෙල් 12:13-23 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය