2 සාමුවෙල් 12:1-25

2 සාමුවෙල් 12:1-25 SCV

ස්වාමින්වහන්සේ දාවිත් වෙත නාතාන් යැවූ සේක. ඔහු දාවිත් වෙත අවුත්, ඔහු අමතමින්, “එක් නගරයක මිනිසුන් දෙදෙනෙක් සිටියා. ඉන් කෙනෙක් පොහොසතෙක්; අනෙකා දුප්පතෙක්. ධනවතාට අති මහත් ගණනාවක් බැටළුවන් සහ ගවයින් හිටියා. එනමුත් දුප්පත් මිනිසාට ඔහු මිල දී ගෙනැවිත් සිටි බැටළු පැටවියක මිස අන් කිසිවක් තිබුණේ නෑ. ඔහු, ඇය ඇතිදැඩි කළා. ඈ ඔහු ද ඔහුගේ දරුවන් ද සමඟ වැඩුණා. ඔහුගේ ආහාරයට පංගුකාර වූවා. ඔහුගේ කුසලානෙන් බීවා. ඔහුගේ තුරුලේ නිදාගත්තා. ඇය ඔහුට දුවක මෙන් වූවා. “දිනක්, පොහොසත් මිනිසා වෙත සංචාරකයෙක් ආවා. තමා වෙත පැමිණි සංචාරකයාට සංග්‍රහ කිරීමට තමාගේ ම බැටළුවන් හෝ ගවයින් ගැනීමට කැමති නො වූ පොහොසතා, දුප්පත් මිනිසා සතු ව සිටි බැටළු පැටවිය ගෙන, තමා වෙත පැමිණි සංචාරකයාට සංග්‍රහ කළා” යි කීවේ ය. එවිට ඒ මිනිසාට එරෙහිව දැඩි සේ කෝපයෙන් ඇවිළුණු දාවිත්, නාතාන් අමතමින්, “ස්වාමින්වහන්සේ ජීවත් වන්නා සේ ම ඒ දේ කළ මිනිසා සුදුසු මරණයටයි. ඔහු ඒ දේ කළ නිසාත්, අනුකම්පා නො කළ නිසාත් බැටළු පැටවිය වෙනුවට ඔහු සතර ගුණයක් ගෙවිය යුතු යැ” යි කීවේ ය. එවිට නාතාන්, දාවිත්ට කතා කොට, “ඔබයි ඒ මිනිසා! ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ‘ඉශ්‍රායෙල් රජකමට මම ඔබ ආලේප කළෙමි. සාවුල් අතින් මම ඔබ ගලවා ගතිමි. ඔබේ හාම්පුතාගේ ගෘහ වාසීන් ඔබට මම දුනිමි. ඔබේ හාම්පුතාගේ බිරින්දෑවරුන් මම නුඹේ තුරුලට දුනිමි. ඉශ්‍රායෙල් හා යූදා වංශය මම නුඹට දුනිමි. ඒ දෑ සියල්ල නුඹට නො සෑහේ නම්, මම නුඹට තව තවත් එකතු කරන්නෙමි. උන්වහන්සේගේ ඇස් හමුවේ දුෂ්ටකම් කිරීමට ස්වාමින්වහන්සේගේ වචනයට නුඹ නිගරු කළේ ඇයි? නුඹ හිත්තීය ඌරියා කඩුවෙන් ගසා හෙළා, ඔහුගේ බිරිඳ, නුඹේ බිරිඳ කර ගෙන ඇත. නුඹ අම්මොන්වරුන්ගේ කඩුපතින් ඔහු මරා දැමී ය. එබැවින් කඩුපත කිසි දින ඔබේ වංශය හැර යන්නේ නැත. මන්ද නුඹ මට නිගරු කරමින්, හිත්තීය ඌරියාගේ බිරිඳ නුඹේ බිරිඳ කර ගත් බැවිනි.’ “ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ‘මම නුඹේ ම ගෘහ වාසීන් අතරින් නුඹ පිටට විපත්තිය ගෙනෙන්නෙමි. නුඹේ ඇස් පනා පිටදී නුඹේ භාර්යාවන් ගෙන, නුඹේ සමීපතමයකුට දෙන්නෙමි. නුඹේ භාර්යාවන් සමඟ ඔහු මේ හිරු ඉදිරිපිට ම රමණය කරනු ඇත. නුඹ හොර රහසේ එය කළ නමුදු, මම හිරු ඉදිරිපිට ම ඉශ්‍රායෙල් සියල්ලන් ඉදිරියේ ඒ දේ කරන්නෙමි’ යි” පැවසී ය. එවිට දාවිත්, නාතාන් අමතමින්, “ස්වාමින්වහන්සේට එරෙහිව මම පව් කළෙමි” යි කීවේ ය. නාතාන් පිළිතුරු දෙමින්, “ස්වාමින්වහන්සේ ඔබේ පාපය ඉවත දැමූ සේක. ඔබට මැරෙන්නට සිදු නො වේ. එහෙත් ඔබ කළ මේ දේ හේතුවෙන් ඔබ ස්වාමින්වහන්සේට අවමන් කර ඇත. ඔබට උපදින දරුවා මියෙනු ඇතැ” යි කීවේ ය. ඉන්පසු නාතාන් තමාගේ ගෙදර ගියේ ය. ඌරියාගේ බිරිඳ දාවිත් නිසා බිහි කළ දරුවාට ස්වාමින්වහන්සේ පහර දුන් සේක. ඔහුට තදින් අසනීප විය. දාවිත් එබැවින් දරුවා ගැන දෙවියන්වහන්සේට කන්නලව් කළේ ය. දාවිත් නිරාහාර ව, බිම වැතිර, මුළු රැය ම ගත කළේ ය. බිමින් ඔහු නැගිටුවන අදහසින් ඔහුගේ ගෘහවාසී වැඩිහිටියෝ ඔහු පසෙකින් සිටගෙන වුන්හ. එහෙත් ඔහු එසේ කිරීම ප්‍රතික්ෂේප කළේ ය. ඔහු ඔවුන් සමඟ කිසි අහරක් ගත්තේ ද නැත. හත් වන දවසේ දරුවා මියැදුණේ ය. දරුවා මළ වග දාවිත්ට දන්වන්නට ඔහුගේ සේවකයෝ භය වූහ. ඔවුන් කීවේ, “බලන්න! දරුවා ජීවත් ව සිටියදී අප ඔහුට කතා කළ විට, ඔහු අපට සවන් දුන්නේ නැහැ. එසේ නම් දරුවා මළ වග අප ඔහුට කෙසේ කියන්න ද? ඔහු කිසියම් වින්නැහියක් කර ගනී දෝ” යි කියා ය. තම සේවකයින් එකිනෙකාට කොඳුරන අයුරු දුටු දාවිත්, දරුවා මිය ගිය වග වටහා ගත්තේ ය. “දරුවා මියැදුණේදැ?” යි ඔහු ඇසී ය. “එහෙමයි, ඔහු මිය ගියා යැ” යි ඔවුහු කීහ. එවිට දාවිත් බිමින් නැගිට, දෝවනය කර, ආලේපන ගල්වා, වෙනත් ඇඳුම් ඇඟ ලා, ස්වාමින්වහන්සේගේ ගෘහයට ඇතුල් ව, නමස්කාර කළේ ය. ඉන්පසු ඔහු තමාගේ නිවසට ගියේ ය. ඔහුගේ ඉල්ලීම පිට, ඔවුහු ඔහුට ආහාර පිළිගැන් වූහ. ඔහු අහර ගත්තේ ය. එවිට ඔහුගේ සේවකයෝ ඔහු අමතමින්, “ඔබ මෙලෙස හැසිරෙන්නේ මොකද? දරුවා ජීවත් ව සිටියදී ඔබ නිරාහාර ව හැඬුවා. ඒත් දැන් දරුවා මියැදී ඇති විට ඔබ නැගිට ආහාර ගනී!” යි කීහ. ඔහු පිළිතුරු දෙමින්, “දරුවා ජීවත් ව සිටියදී මම නිරාහාර ව හැඬුවෙමි. එසේ කළේ, ‘ස්වාමින්වහන්සේ මට කාරුණික වී, දරුවාට ජීවිත දානය දේවි ද කියා දන්නේ කවුරු ද?’ කියා මා සිතූ නිසයි. එහෙත් දැන් ඔහු මිය ගොසින්. මා නිරාහාර ව සිටින්නේ කුමට ද? ඔහු නැවත ගෙනෙන්නට මට පුළුවන් ද? මා ඔහු ළඟට යනවා විනා, ඔහු මා ළඟට ආපසු එන්නේ නැතැ” යි කීවේ ය. ඉන්පසු දාවිත් තම බිරිඳ වූ බැත්ෂෙබා සැනසී ය. ඔහු ඇය වෙත ගොස්, ඇය හා එක් වුණේ ය. ඈ පුතකු බිහි කළා ය. ඔවුහු ඔහුට සාලමොන් යැයි නම් තැබූහ. ස්වාමින්වහන්සේ ඔහුට ප්‍රේම කළ සේක. උන්වහන්සේ නාතාන් දිවැසිවරයා අත පණිවුඩ යැවූ සේක. එබැවින් ඔහු ස්වාමින්වහන්සේ උදෙසා ඔහුට යෙදීදියා යන නම තැබී ය.

මෙයට අදාළ වීඩියෝ

2 සාමුවෙල් 12:1-25 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය