2 පේතෘස් 3:7-13

2 පේතෘස් 3:7-13 SCV

එම දේව වචනයෙන් ම මේ වත්මන් අහස හා පොළොව ගිනිලනු පිණිස අවසන් විනිශ්චය දවස හා අභක්තික-දුෂ්ටයින්ගේ විනාශය දක්වා වෙන් කර තබා ඇති බවත් ය. එහෙත් ප්‍රේමණීයයනි, මෙන්න මේක අමතක නො කරන්න; එනම් එක දවසක් ස්වාමින්වහන්සේට අවුරුදු දහසක් හා සමාන වගත්, අවුරුදු දහසක් එක දවසක් හා සමාන වගත් ය. පමාවකැයි ඇතමකු වටහා ගෙන ඇති නමුදු, ස්වාමින්වහන්සේ උන්වහන්සේ පොරොන්දු වූ දේ ඉටු කිරීමට පමා නො වන සේක. කිසිවකුත් විනාශ නො වී, හැම කෙනෙක් ම පසුතැවිලි වීම අපේක්ෂා කරමින්, උන්වහන්සේ ඔබ ගැන ඉවසා බලා සිටින සේක. එහෙත් ස්වාමින්වහන්සේගේ දවස සොරකු මෙන් පැමිණෙනු ඇත. එකල අහස ගර්ජනාත්මක ව පහ වී යනු ඇත. ආකාශ වස්තු ද ගින්නෙන් දැවී විනාශ කෙරේ. පොළොව ද එහි ඇති සියල්ල ද දැවී යනු ඇත. මේ මුළු විශ්වය ම ඒ අයුරින් විනාශ කරන බැවින්, ඔබ කවර අන්දමේ පුද්ගලයින් විය යුතු වේ ද? ඔබ ශුද්ධවත් ව, දේව භක්තික ව ජීවත් විය යුතු වන්නේ, දෙවියන්වහන්සේගේ දවස ගැන මග බලා හිඳිමිනි; එය කඩිනම් වීමේ අපේක්ෂාවෙනි. ඒ දවසේ අහස ගින්නෙන් දැවී විනාශ වී යන්නේ ය. ආකාශ වස්තූන් ද තාපයෙන් දියවී යනු ඇත. එහෙත් උන්වහන්සේගේ පොරොන්දුව පරිදි ධර්මිෂ්ඨකම වාසය කරන අලුත් අහසක් ද අලුත් පොළොවක් ද ගැන බලාපොරොත්තුවෙන් අපි මග බලා හිඳින්නෙමු.

2 පේතෘස් 3:7-13 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය