2 පේතෘස් 2:1-11

2 පේතෘස් 2:1-11 SCV

එකල ජනතාව අතරේ බොරු දිවැසිවරුන් වූ සේ ම ඔබ අතරේ ද බොරු ගුරුන් ඇති වන්නේ ය. මෙම බොරු ගුරුවරු තමන් ව මිල දී ගත් ස්වාමියාණන් පවා ප්‍රතික්ෂේප කරමින්, තමන් පිට ශීඝ්‍ර විනාශයක් පමුණුවා ගනිමින්, විනාශකාරී මිථ්‍යා-ධර්ම හොර රහසේ ම හඳුන්වා දෙති. බොහෝ දෙනකු ඔවුන්ගේ මෙම නීච දුරාචාර මාර්ග අනුගමන කිරීමේ හේතුවෙන්, සත්‍යයේ මාර්ගයට නිග්‍රහ පැමිණෙනු ඇත. මෙම ගුරුන් තණ්හාව නිසා, තමන් ම ගෙතූ කතා මගින් තම වාසිය සඳහා ඔබ වෙළඳාමක් කර ගනු ඇත. ඔවුන්ගේ වරදට හිමි දණ්ඩනය ඈත අතීතයේ සිට ම සූදානම් ව පවතී. ඔවුන්ගේ විනාශය නිදා ගන්නේ නැත. මන්ද දේව දූතයින් පව් කළ කල්හි දෙවියන්වහන්සේ ඔවුන්ට දඬුවම් දීමෙන් නො වැළකී, විනිශ්චය තෙක් ඔවුන් රඳවා තබන්නට නිරයට යවා, ඝන අන්ධකාර බන්ධනයේ හෙළූ සේක් නම්, ලෝකයේ දුෂ්ට අභක්තික ජනයා පිට ජලගැල්ම එවූ කල, උන්වහන්සේ එම පැරණි ලෝකයට දඬුවම් දීමෙන් නො වැළකී, ධර්මිෂ්ඨකමේ දේශකයකු වූ නෝවා ද තවත් හත්දෙනකු ද පමණක් ආරක්ෂා කළ සේක් නම්, උන්වහන්සේ සොදොම් හා ගොමොරා නගර දවා අළු කරමින් ඊට දඬුවම් දී, අභක්තික දුෂ්ටයනට මතු සිදුවන දේ ගැන එමඟින් පාඩමක් දුන් සේක් නම්, අසංවර මිනිසුන්ගේ දූෂිත ජීවිත පැවැත්ම නිසා සංවේගයට පත් ධර්මිෂ්ඨ මිනිසකු වූ ලොත් උන්වහන්සේ මුදා ගත් සේක් නම්, (මේ ධර්මිෂ්ඨ මිනිසා ඔවුන් අතරේ දිනෙන් දින දිවි ගෙවමින්, ඔහු ඇසූ දුටු ඔවුන්ගේ නොපනත්කම් නිසා තම ධර්මිෂ්ඨ ආත්මයෙන් වේදනා වින්දේ ය) දේව භක්තිකයින් පරීක්ෂාවන්ගෙන් ගලවන්නේ කෙසේ ද යන්නත්, විනිශ්චය දවස දක්වා අදමිටුවන් ඔවුන්ගේ දඬුවම් යටතේ දිගට ම තබා ගන්නේ කෙසේ ද යන්නත් ස්වාමින්වහන්සේ දන්නා සේක. විශේෂයෙන් මෙය බලපාන්නේ පාපී ස්වභාවයේ දූෂිත රාග තෘෂ්ණාවල යෙදෙන්නාවූත්, ආධිපත්‍යයට නිග්‍රහ කරන්නාවූත් අයට ය. බිය සැක නැති මේ හිතුවක්කාර මිනිස්සු ශ්‍රේෂ්ඨයින්ට එරෙහිව නින්දා අපහාස කරන්නට වුව බය නො වෙති. දේව දූතයින්, සවියෙන් හා බලයෙන් වැඩි වුව ද ඔවුහු ස්වාමින්වහන්සේ අබියස ඔවුනට එරෙහිව අපහාසාත්මක චෝදනා නො නගති.

2 පේතෘස් 2:1-11 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය