2 රාජාවලිය 8:1-29

2 රාජාවලිය 8:1-29 SCV

තවද එලීෂා තමා විසින් ජීවනයට යළි පැමිණ වූ ළමයාගේ මවට කතා කොට, “ස්වාමින්වහන්සේ සාගතයක් නියම කර ඇත; දේශයේ අවුරුදු හතක කාලයකට එය බල පැවැත් වේ; එබැවින්, ඔබේ පවුලේ උදවිය සමඟ ඔබට යා හැකි ස්ථානයකට ගොස්, එහි කල් ගත කරන්නැ” යි කියා තිබිණ. කාන්තාව ද දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා පැවසූ පරිදි කළා ය. ඈ තම පවුලේ අය සමඟ පිටත් ව ගොස්, පිලිස්තිවරුන්ගේ දේශයෙහි අවුරුදු හතක් ගත කළා ය. අවුරුදු හත අවසානයේ පිලිස්තිවරුන්ගේ දේශයේ සිට ආපසු පැමිණි ඈ, තමාගේ නිවස සහ ඉඩම ගැන ආයාචනා කරන්නට රජු වෙත ගියා ය. මේ අතර දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ සේවක ගෙහාසී සමඟ කතා කරමින් සිටි රජු, “එලීෂා කර ඇති සියලු බලවත් දේවල් මට කියන්නැ” යි කීවේ ය. ගෙහාසී, එලීෂා විසින් මළ අයකුට ජීවනය දුන් සැටි රජුට පවසද්දී ම, මෙන්න! එලීෂා මරණයෙන් යළි ජීවනයට පැමිණ වූ පුත්‍රයාගේ මව තමාගේ නිවසත්, ඉඩමත් ගැන ඉල්ලීමට රජු වෙත ආවා ය. එවිට ගෙහාසී, “මගේ ස්වාමි වූ රජතුමනි, මැයයි ඒ කාන්තාව, එලීෂා යළි ජීවනයට ගෙනා ඇගේ පුත්‍රයා මොහු යැ” යි පැවසී ය. රජු ඒ පිළිබඳව එම කාන්තාවගෙන් විමසී ය. ඈ ඔහුට පැවසුවා ය. ඉන්පසු ඇගේ කාරණයට නිලධාරියකු පත් කළ රජු, “ඇය සතු ව තිබූ සියල්ලත්, ඇය දේශයෙන් පිටත් ව ගිය දවසේ සිට අද දක්වා වතු පිටිවල ආදායමත් ඇයට ආපසු ලබා දෙන්නැ” යි නියම කළේ ය. එලීෂා දමස්කය වෙත ගියේ ය. අරාම්හි රජු වූ බෙන්-හදද් රෝගී ව සිටියේ ය. “දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා මෙහි පැමිණ සිටිතැ” යි රජුට දන්වනු ලැබිණ. ඔහු හසායෙල් අමතා, “ඔබ තෑග්ගක් රැගෙන, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා හමු වන්නට ගොස්, ‘මේ රෝගයෙන් මා සුව වේ දැ?’ යි ඔහු මගින් ස්වාමින්වහන්සේගෙන් විචාරන්නැ” යි කීවේ ය. හසායෙල්, ඔටුවන් හතළිහක් පිට පැට වූ දමස්කයේ සියලු ඉස්තරම් බඩු සහිත ත්‍යාගයක් රැගෙන එලීෂා හමු වන්නට පිටත් ව ගොස්, එලීෂා ඉදිරියේ සිට ගත්තේ ය. “ ‘මම මේ රෝගයෙන් සුවය ලබම් දැ’ යි අසන්නට අරාම්හි රජු වූ ඔබේ පුත් බෙන්-හදද් මා එවී යැ” යි පැවසී ය. එලීෂා පිළිතුරු දෙමින්, “ ‘ඔබ සැබවින් ම සුවය ලබනු ඇතැ’ යි ගොස්, ඔහුට කියන්න. එහෙත් නියතයෙන් ම ඔහු මැරෙන වග ස්වාමින්වහන්සේ මට එළිදරවු කර තිබේ යැ” යි පැවසී ය. ඔහු අපහසුතාවට පත් වන තුරු තද බැල්මකින් ඔහු දෙස බලා සිටි දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ඉන්පසු වැලපෙන්නට වන්නේ ය. “ඇයි මගේ ස්වාමියා වැලපෙන්නේ” යි හසායෙල් ඇසී ය. ඔහු පිළිතුරු දෙමින්, “ඉශ්‍රායෙල්වරුන්ට ඔබ කරන්නට යන නපුර මා දන්නා නිසා යැ” යි කී ඔහු, “ඔබ ඔවුන්ගේ බළකොටු ගිනි තබා, ඔවුන්ගේ තරුණයින් කඩු ගා, ඔවුන්ගේ ළදරුවන් පොළොවේ ගසා, ඔවුන්ගේ ගැබිනි කාන්තාවන් ඉරා දමනු ඇතැ” යි පැවසී ය. “බල්ලෙක් වැනි වූ ඔබේ මෙහෙකරු මා එවැනි වික්‍රමයක් කරන්නේ කෙසේ දැ?” යි හසායෙල් ඇසී ය. එලීෂා පිළිතුරු දෙමින්, “ඔබ අරාම්හි රජකමට පත් වන වග ස්වාමින්වහන්සේ මට පෙන්වා තිබේ යැ” යි පැවසී ය. ඉන්පසු හසායෙල්, එලීෂා වෙතින් තම ස්වාමියා වෙත ආපසු ගියේ ය. “එලීෂා ඔබට කීවේ මොක දැ?” යි බෙන්-හදද් ඇසූ කල, හසායෙල් පිළිතුරු දෙමින්, “ඔබ නියතයෙන් ම සුව වන වග ඔහු මට පැවසුවා” යි කී ය. එහෙත් ඊළඟ දවසේ ඔහු ගන රෙද්දක් වතුරේ පොඟවා, රජු මැරෙන තෙක් ඔහුගේ මුහුණ පිට එය එළා තැබී ය. ඔහුගෙන් පසු හසායෙල් රජකමට පත් විය. ඉශ්‍රායෙල් රජු වූ ආහාබ්ගේ පුත් යෝරාම්ගේ පස් වන අවුරුද්දේ, යෙහෝෂාෆාට් යූදාහි රජු ව සිටියදී ම යෙහෝෂාෆාට්ගේ පුත් යෙහෝරාම්, යූදාහි රජු හැටියට පාලනය පටන් ගත්තේ ය. රජකමට පත් වන කල, ඔහුගේ වයස අවුරුදු තිස්දෙකක් විය. ඔහු යෙරුසලමේ අවුරුදු අටක් රජකම් කළේ ය. ආහාබ්ගේ වංශය කර තිබූ පරිදි ඔහු ඉශ්‍රායෙල් රජවරුන්ගේ අඩිපාරේ ගියේ ය. මන්ද ඔහු ආහාබ්ගේ දියණියක ආවාහ කර ගෙන සිටියේ ය. ඔහු කළේ ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු දෑ ය. එසේ වුවත් ස්වාමින්වහන්සේ තම සේවක දාවිත් නිසා, යූදා විනාශ කරන්නට නො කැමති වූයේ, උන්වහන්සේ දාවිත්ටත්, ඔහුගෙන් පැවත එන්නවුන්ටත් සදහට ම පහනක් දෙන්නට පොරොන්දු වී සිටි බැවිනි. ඔහුගේ කාලයේ ඒදොම්වරු, යූදා රාජ්‍යයට එරෙහිව කැරලි ගසා, තමන්ට රජකු පත් කර ගත්හ. එබැවින් යෙහෝරාම් තමන්ගේ යුද්ධ රථ සියල්ල කැටුව සායිර් බලා ගියේ ය. ඒදොම්වරු ඔහු ද ඔහුගේ යුද්ධ රථ සෙන්පතීන් ද වට කළහ; එහෙත් ඔහු රාත්‍රියේ නැගිට ඒදොම්වරුන්ට පහර දුන්නේ ය. එසේ වුව ද ඔහුගේ හමුදාව ආපසු තම කූඩාරම් වෙත පලා ගියහ. අද දවස දක්වා ම ඒදොම්, යූදාට එරෙහිව කැරලි ගසයි. ලිබ්නා ද ඒ කාලයේ ම කැරලි ගැසී ය. යෙහෝරාම් සම්බන්ධ සෙසු කාරණා ද ඔහු කළ සියල්ල ද යූදා රජුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබෙනවා නො වේ ද? යෙහෝරාම් තම පියවරුන් සමඟ සැතපුණේ ය. ඔහු දාවිත් පුරයේ තම පියවරුන් සමඟ භූමදාන කෙරිණි. ඉන්පසු ඔහුගේ පුත් අහසියා ඔහුට පසු රජකමට පත් විය. ඉශ්‍රායෙල් රජු වූ ආහාබ්ගේ පුත් යෝරාම්ගේ දොළොස් වන වසරේ යූදා රජු වූ යෙහෝරාම්ගේ පුත් අහසියා යූදාහි රජකමට පත් විය. අහසියා රජකමට පත් වන කල, ඔහුගේ වයස අවුරුදු විසිදෙකක් විය. ඔහු යෙරුසලමේ එක් අවුරුද්දක් රජකම් කළේ ය; ඔහුගේ මවගේ නම අතලියා ය. ඇය ඉශ්‍රායෙල් රජු වූ ඔම්රීගේ මිණිබිරියකි. ඔහු ආහාබ්ගේ වංශයේ මාර්ගවල පැවතෙමින්, ආහාබ්ගේ වංශය කර තිබූ පරිද්දෙන් ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු දේ කළේ ය. මන්ද ඔහු විවාහයෙන් ආහාබ්ගේ පවුලට බෑණා විය. අහසියා, ආහාබ්ගේ පුත් යෝරාම් සමඟ අරාම්හි රජු වූ හසායෙල්ට එරෙහිව රාමොත්-ගිලියාද්හි යුද්ධ කරන්නට ගියේ ය. අරාම්වරු යෝරාම්ට තුවාල කළහ; එබැවින් යෝරාම් රජු, අරාම්හි රජු වූ හසායෙල් සමඟ යුද්ධ කරද්දී රාමාහි දී අරාම්වරුන් ඔහුට කළ තුවාල සුව කර ගැනීමට යෙස්රෙයෙල් වෙත ආපසු ආවේ ය. ආහාබ්ගේ පුත් යෝරාම් තුවාල ලබා සිටි බැවින්, ඔහු බලන්නට යෙහෝරාම්ගේ පුත් යූදාහි රජු වූ අහසියා, යෙස්රෙයෙල් වෙත ගියේ ය.

මෙයට අදාළ වීඩියෝ