2 රාජාවලිය 20:1-11

2 රාජාවලිය 20:1-11 SCV

එදවස්හි හෙසකියා රෝගී ව, මරණාසන්න විය. ආමෝස්ගේ පුත් දිවැසිවර යෙසායා ඔහු වෙත ගොස්, ඔහු අමතමින්, “ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘ඔබේ ගේ-දොර කටයුතු පිළිවෙලක් කරන්න. මන්ද ඔබ මියෙනු ඇත. ඔබ සුව වන්නේ නැතැ’ යි” පැවසී ය. එවිට හෙසකියා තම මුහුණ බිත්තිය දෙසට හරවා, ස්වාමින්වහන්සේට යාච්ඤා කරමින්, “අහෝ ස්වාමින්වහන්ස, විශ්වාසවන්තකමින් ද මුළු හදවතින් ද මා ඔබවහන්සේ ඉදිරියේ පැවතුණු අයුරු හා ඔබගේ ඇස් හමුවේ යහපත කළ අයුරු සිහි කළ මැනව” කියා, මහත් සොවින් හැඬී ය. යෙසායා මැද මිදුල හැර යන්නට පෙර ස්වාමින්වහන්සේගේ වචනය ඔහු වෙත පැමිණියේ ය: “ආපසු හැරී, මගේ ජනයාගේ පාලකයා වන හෙසකියාට මෙසේ කියන්න: ‘නුඹේ පිය දාවිත්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: මම ඔබේ යාච්ඤාව ඇසීමි. ඔබේ කඳුළු දුටිමි. මම ඔබ සුවපත් කරන්නෙමි. තුන් වන දිනයේදී ඔබ ස්වාමින්වහන්සේගේ ගෘහය වෙත යන්නේ ය. මම ඔබේ ජීවිතයට පහළොස් වසරක් එකතු කරන්නෙමි. අසිරියාවේ රජු අතින් ඔබත්, මේ පුරවරයත් මම ගලවන්නෙමි. මා නිසාත්, මගේ සේවක දාවිත් නිසාත් මම මේ පුරවරය සුරකින්නෙමි’ යි කියා කියන්නැ” යි ඉන් පැවසිණ. එවිට යෙසායා, “අත්තික්කා කැටියක් පිළියෙල කරන්නැ” යි පැවසී ය. ඔවුහු එය සාදා, එය ගඩුව මත තැවරී ය. ඔහු සුවපත් විය. හෙසකියා, යෙසායා අමතා, “ස්වාමින්වහන්සේ මා සුව කරන වගටත්, තුන් වන දවසේදී මා ස්වාමින්වහන්සේගේ ගෘහය වෙත යන වගටත් ඇති ලකුණ කිමෙක් දැ” යි ඇසී ය. යෙසායා පිළිතුරු දෙමින්, “ස්වාමින්වහන්සේ පොරොන්දු වූ දේ ඉටු කරන වගට ඔබට දෙන ස්වාමින්වහන්සේගේ ලකුණ මෙන්න: සෙවණැල්ල පියවර දහයක් ඉදිරියට යා යුතු ද? පියවර දහයක් ආපස්සට යා යුතු දැ?” යි ඇසී ය. “සෙවණැල්ල පියවර දහයක් ඉදිරියට යෑම සුළු දෙයක්. එසේ නො ව එය පියවර දහයක් ආපස්සට යේවා” යි හෙසකියා පැවසී ය. එවිට දිවැසිවර යෙසායා, ස්වාමින්වහන්සේට යාච්ඤා කළේ ය. එවිට ස්වාමින්වහන්සේ, ආහාස්ගේ පඩි පෙළේ බැස ගිය සෙවණැල්ල පියවර දහයකින් ආපස්සට යන්නට සැලසූ සේක.

මෙයට අදාළ වීඩියෝ