2 රාජාවලිය 17:7-18

2 රාජාවලිය 17:7-18 SCV

එසේ වූයේ ඊජිප්තුවේ රජු වූ පාරාවෝ අතින් මුදා, ඊජිප්තුවෙන් පිටතට ඔවුන් ගෙන ආ තැනැන්වහන්සේ වන ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට එරෙහිව ඉශ්‍රායෙල් පව් කළ නිසා ය. ඔවුහු අන් දෙවිවරුන්ට වැඳුම් පිදුම් කරමින්, ඉශ්‍රායෙල් ජනයා ඉදිරිපිටින් ස්වාමින්වහන්සේ පන්නා දැමූ ජාතීන්ගේ චාරිත්‍ර හා ඉශ්‍රායෙල් රජවරුන් හඳුන්වා දුන් චාරිත්‍රවල ගැලුණහ. ඉශ්‍රායෙල්වරුන් තම දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට එරෙහිව නුසුදුසු දෑ රහසිගත ව කළහ. මුර කොටු පටන් බළකොටු පුරවර දක්වා ඔවුහු තමන්ගේ හැම නගරයක ම තමන්ට උස් තැන් පුදසුන් සාදා ගත්හ. ඔවුහු හැම උස් හෙලකම හා අතු විහිදුණු හැම ගසක් යට රූප ස්තම්භ ද අෂේරා කණු ද පිහිටුවා ගත්හ. ස්වාමින්වහන්සේ ඔවුන් ඉදිරිපිටින් පන්නා දැමූ ජාතීන් කළ පරිදි ඔවුහු හැම උස් තැන් පුදසුනක ම සුවඳ දුම් දැවූහ. ඔවුහු ස්වාමින්වහන්සේ උදහස් කරවන දුෂ්ටකම් කළෝ ය. “ඔබ මෙසේ නො කළ යුතු යැ” යි ස්වාමින්වහන්සේ ඔවුන්ට පවසා තිබුණ ද ඔවුහු පිළිමවලට වැඳුම් පිදුම් කළහ. “ඔබේ නපුරු මාර්ගවලින් ඉවත හැරෙන්න. කීකරු වීමට මා නුඹලාගේ පියවරුන්ට අණ කළ හා මගේ සේවක දිවැසිවරුන් මගින් ඔබ අතට පත් කළ මුළු ව්‍යවස්ථාවට අනුව මගේ ආඥා හා මගේ නියෝග රක්ෂා කරන්නැ” යි ස්වාමින්වහන්සේ තම සියලු දිවැසිවරුන් හා අනාගතවක්තෘවරුන් මගින් ඉශ්‍රායෙල්ට හා යූදාට අනතුරු අඟවා තිබිණි. එහෙත් ඔවුන් ඊට සවන් නුදුන්නේ තම දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය නො තැබූ තම ආදි පියවරුන් මෙන් මුරණ්ඩුකමිනි. උන්වහන්සේගේ නියෝග ද උන්වහන්සේ ඔවුන්ගේ පියවරුන් සමඟ කර තිබූ ගිවිසුම ද උන්වහන්සේ ඔවුන්ට අවවාද කර තිබූ පනත් ද ඔවුහු ප්‍රතික්ෂේප කළහ. ඔවුහු වැදගැම්මකට නැති පිළිම පසු පස යමින් තමන් ද වැදගැම්මකට නැත්තෝ වූහ. “ඔවුන් අනුකරණ නො කරන්නැ” යි ස්වාමින්වහන්සේ ඔවුන්ට නියෝග කර තිබුණත්, ඔවුහු තමන් වටා සිටි ජාතීන් අනුකරණ කළහ. ඔවුහු තම දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ සියලු ආඥා අත්හැර, තමන්ට වාත්තු කළ වසු පැටි පිළිම දෙකක් හා අෂේරා රූප ස්තම්භයක් සාදා ගෙන, සියලු ග්‍රහ-තරු සේනාවට නමස්කාර කරමින්, බාල් දෙවියාටත් සේවය කළහ. ඔවුහු තම පුතුන් හා දූවරුන් ගින්නෙන් පූජා කළහ. ඔවුහු පේනකීම්වල ද නිමිති බැලීම්වල ද නිරත වූහ. ඔවුහු ස්වාමින්වහන්සේ කුපිත කරවමින් උන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු දේ කරන්නට තමන් ම බාර වූහ. එබැවින් ස්වාමින්වහන්සේ, ඉශ්‍රායෙල් සමඟ බෙහෙවින් කෝප වී, තමන් අබියසින් ඔවුන් ඉවත් කර දැමූ සේක. ඉතිරි වූයේ යූදා ගෝත්‍ර වංශය පමණි.