2 රාජාවලිය 16:1-5

2 රාජාවලිය 16:1-5 SCV

රෙමලියාගේ පුත් පෙකාගේ දාහත්වන වසරේ, යූදා රජු වූ යෝතාම්ගේ පුත් ආහාස් රජකම් කරන්නට පටන් ගත්තේ ය. ආහාස් රජකමට පත් වන කල, ඔහුගේ වයස අවුරුදු විස්සකි. ඔහු අවුරුදු දහසයක් යෙරුසලමේ රජකම් කළේ ය. ඔහු තම පියා වූ දාවිත් මෙන් නො ව, ඔහුගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි හරි දේ කළේ නැත. ඔහු ඉශ්‍රායෙල් රජුන්ගේ අඩිපාරේ යමින්, ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල්වරුන් ඉදිරියෙන් පන්නා දැමූ ජාතීන්ගේ පිළිකුල්කම්වලට අනුව, තම පුත්‍රයා පවා ගින්නෙන් පූජා කළේ ය. ඔහු උස් තැන් පුදසුන් පිටත්, කඳු මුදුන් පිට සහ අතු විහිදුණු සියලු ගස් යටත් යාග පූජා ඔප්පු කර, සුවඳ දුම් දැවී ය. ඉන්පසු අරාම්හි රජු වූ රෙසීන් හා ඉශ්‍රායෙල් රජු වූ රෙමලියාගේ පුත් පෙකා යෙරුසලමට එරෙහි සටනට අවුත්, ආහාස් වැටලූ නමුත් ඔහු යටත් කර ගන්නට ඔවුන්ට නො හැකි විය.