2 රාජාවලිය 11

11
අතලියා හා යෝවාෂ්
1තවද අහසියාගේ මව වූ අතලියා තම පුතු මැරුණු වග දුටු කල, නැගිට, මුළු රාජ වංශය විනාශ කළා ය. 2එහෙත් යෝරාම්#11:2 යෝරාම් හෙවත් යෙහෝරාම් රජුගේ දියණිය ද අහසියාගේ සහෝදරිය ද වූ යෙහෝෂෙබා, එසේ මරා දමන්නට සිටි රජ කුමාරයින් අතරෙන් අහසියාගේ පුත් යෝවාෂ් රහසින් ගෙන, අතලියාගෙන් ඔහු සඟවන පිණිස ඔහුත්, ඔහුගේ කිරි මවත් යහන් කුටියක සැඟවූවා ය. එසේ ඔහු මරනු නො ලැබිණ. 3අතලියා දේශය පාලනය කළ අතරතුරේ ඔහු තම කිරි මව සමඟ ස්වාමින්වහන්සේගේ ගෘහයේ අවුරුදු හයක් සැඟවී සිටියේ ය.
4තවද හත් වන වසරේ යෙහෝයාදා, කාරීය හේවායින්ගේ ද ආරක්ෂකයින්ගේ ද සියයේ සෙන්පතීන් වෙත පණිවුඩ යවා, තමා වෙත ස්වාමින්වහන්සේගේ ගෘහයට ඔවුන් ගෙන්වා ගත්තේ ය. ඔහු ඔවුන් සමඟ ගිවිසුමකට එළැඹ, ස්වාමින්වහන්සේගේ ගෘහයේදී ඔවුන් දිවුරුවා ගත්තේ ය. ඉන්පසු ඔහු රජුගේ පුතු ඔවුන්ට පෙන්වී ය. 5ඔහු ඔවුන්ට නියෝග කරමින්, “ඔබ කළ යුත්තේ මෙයයි: කණ්ඩායම් තුනකට බෙදී සිටින ඔබ සබත් දවසේ සේවා කටයුතුවල නියැළිය යුතු ය. ඔබගෙන් තුනෙන් කොටසක් රජ මැදුර ද 6තුනෙන් කොටසක් සූර් දොරටුව ද තුනෙන් කොටසක් පසු පස දොරටුව ද රැකවල් කළ යුතු ය. මාරුවෙන් මාරුවට මාලිගය මුර කළ යුතු ය. 7මෙසේ සබත් දවසේ සේවා-කටයුතු නිම වී යන ඔබගේ සෙසු දෙකොටසේ සියල්ලන් රජු උදෙසා ස්වාමින්වහන්සේගේ ගෘහය රැකවල් කළ යුතු ය. 8එක් එක් මිනිසා තම ආයුධ අතැතිව රජු වටා සිටිය යුතු ය. ඔබගේ සීමාවන් වෙත ළං වන කවරකු වුව මරා දැමිය යුතු ය. රජු ඇතුළට එන විටත්, ඔහු පිටතට යන විටත් ඔබ රජු සමීපයේ රැඳී සිටිය යුතු යැ” යි පැවසී ය.
9සියයේ සෙන්පතීහු, පූජක යෙහෝයාදා නියෝග කළ සියල්ල පරිදි කළහ. සබත් දවසේ සේවා මුරයට එන්නන් ද සබත් දවසේ සේවා මුරය නිම වී යන්නන් ද යන තම මිනිසුන් ඔවුහු පූජක යෙහෝයාදා වෙත පැමිණ වූහ. 10ඉන්පසු පූජකයා ස්වාමින්වහන්සේගේ ගෘහයේ තිබූ දාවිත් රජුගේ හෙල්ල ද පලිහ ද සෙන්පතීන්ට දුන්නේ ය. 11ආරක්ෂකයෝ එකිනෙකා තම ආයුධ අතැතිව රජු වටා ගෘහයේ දකුණු පැත්තේ සිට ගෘහයේ උතුරු පැත්ත දක්වා පූජාසනය හා ගෘහය අසල ස්ථානගත වූහ.
12ඉන්පසු ඔහු රජුගේ පුත්‍රයා පිටතට ගෙනවුත්, ඔටුන්න ඔහුගේ හිස මත තබා, ගිවිසුම ඔහුට දී, ඔහු රජු වශයෙන් ප්‍රකාශ කළේ ය. ඔවුහු ඔහු ආලේප කර, අත්පොළසන් දී, “රජු දිගු කල් වැජඹේවා!” යි පැවසූහ.
13ආරක්ෂකයින් හා ජනයා නැගූ ඝෝෂාව අතලියාට ඇසුණු කල, ඈ ජනයා වෙත ස්වාමින්වහන්සේගේ ගෘහයට ගියා ය. 14ඈ බැලූ කල, චාරිත්‍රය ලෙස රජු කුලුන ළඟ සිටගෙන සිටින අයුරු ද නිලධාරීන් හා හොරණෑ හඬවන්නන් රජු දෙපස සිටින අයුරු හා රට වැසි ජනයා ප්‍රීති ප්‍රමෝදවෙමින් හොරණෑ හඬවමින් සිටින අයුරු ද දුටුවා ය. එවිට තම හැඳිවත් ඉරා ගත් අතලියා, “ද්‍රෝහිකම! ද්‍රෝහිකම!” යයි කෑ ගැසුවා ය.
15පූජක යෙහෝයාදා සේනාව බාර ව සිටි සියයේ සෙන්පතීන්ට අණ කරමින්, “ආරක්ෂක පේළි අතරින් ඇය පිටතට ගෙනෙනු; ඇය පසු පස එන කවරකු වුවත් කඩුවෙන් මරා දමනු” යි පැවසී ය. මන්ද “ස්වාමින්වහන්සේගේ ගෘහය තුළදී ඇය මරා නො දැමිය යුතු යැ” යි පූජකයා කියා තිබුණේ ය. 16එබැවින් ඇය රජ මැදුරට අශ්වයින් ඇතුළු වන දොරටුව වෙත පැමිණි කල, ඔවුහු ඇය අල්ලා, මරා දැමූහ.
17ඉන්පසු යෙහෝයාදා ස්වාමින්වහන්සේ ද රජු හා ජනතාව ද අතර ගිවිසුමක් කළේ ය. ඒ ඔවුන් ස්වාමින්වහන්සේගේ ජනයා හැටියට සිටින ලෙසට ය. ඔහු රජු හා ජනතාව අතර ද ගිවිසුමක් කළේ ය. 18දේශයේ මුළු ජනයා බාල් දෙවියාගේ දෙවොලට ගොස්, එය බිමට සමතලා කර දැමූහ; ඔවුහු එහි පූජාසන හා පිළිම කැබලි කර, පූජාසන ඉදිරිපිටදී බාල් දෙවියාගේ පූජක මත්තාන් මරා දැමූහ.
ඉන්පසු පූජක යෙහෝයාදා, ස්වාමින්වහන්සේගේ ගෘහය සඳහා ආරක්ෂකයින් සිටුවී ය. 19ඔහු සියයේ සෙන්පතීන් ද කාරීය හේවායින් ද ආරක්ෂකයින් ද දේශයේ මුළු ජනයා ද පිරිවරා ඔවුන් හා එක් ව රජු කැටුව, ස්වාමින්වහන්සේගේ ගෘහයේ සිට ආරක්ෂකයින්ගේ දොරටු පිවිසුමෙන් රජ මැදුර වෙත ගියහ. ඉන්පසු ඔහු රාජ සිංහාසනයේ හිඳ ගත්තේ ය. 20දේශයේ මුළු ජනයා ප්‍රීති ප්‍රමෝද වූහ. රජ මැදුරේදී අතලියා කඩුවෙන් මරා දැමූ බැවින් පුරවරය සාමකාමී ව පැවතුණේ ය.
21යෙහෝවාෂ්#11:21 යෙහෝවාෂ් එනම් යෝවාෂ් රජකමට පත් වන කල, ඔහුගේ වයස අවුරුදු හතක් විය.

දැනට තෝරාගෙන ඇත:

2 රාජාවලිය 11: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න