2 රාජාවලිය 1:1-9

2 රාජාවලිය 1:1-9 SCV

ආහාබ්ගේ මරණයෙන් පසු, මෝවබ් ඉශ්‍රායෙල්ට එරෙහිව කැරලි ගැසී ය. මේ අතර අහසියා, සමාරියේ තම උඩු මහල් මැදුරේ ගරාදි අතරෙන් වැටී, තුවාල ලැබී ය. එබැවින් ඔහු පණිවුඩකරුවන් යවමින්, ඔවුන් අමතා, “යන්න, මේ තුවාලවලින් මට සුවය ලැබේදැයි එක්‍රෝන්හි දෙවියා වූ බාල්-සෙබූබ්ගෙන් විචාරන්නැ” යි පැවසී ය. එහෙත් ස්වාමින්වහන්සේගේ දූතයා තිෂ්බීය එලියා අමතමින්, “යන්න, සමාරියේ රජුගේ පණිවුඩකරුවන් හමුවට ගොස්, ඔවුන්ගෙන් මෙසේ අහන්න: ‘එක්‍රෝන් දෙවියා වූ බාල්-සෙබූබ්ගෙන් විචාරන්නට නුඹලා යන්නේ ඉශ්‍රායෙල්හි දෙවියන්වහන්සේ කෙනකු නැති නිසා ද?’ එබැවින් ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘වැතිරී සිටින යහනෙන් ඔබ බසින්නේ නැත. සැබවින් ම ඔබ මිය යනු ඇතැ’ යි” පැවසී ය. එවිට එලියා පිටත් ව ගියේ ය. පණිවුඩකරුවන් ආපසු හැරී රජු වෙත ගිය කල ඔහු, “ඔබ ආපසු හැරී ආවේ ඇයි දැ?” යි ඇසී ය. ඔවුහු පිළිතුරු දෙමින්, “අප මුණගැසෙන්නට මනුෂ්‍යයෙක් ආවා. ඔහු අප අමතා, ‘ඔබ එවූ රජු වෙත ආපසු ගොස්, ඔහුට මෙසේ කියන්න: “ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: එක්‍රෝන්හි දෙවියා වූ බාල්-සෙබූබ්ගෙන් විචාරන්ට ඔබ මිනිසුන් යවන්නේ ඉශ්‍රායෙල්හි දෙවියන්වහන්සේ කෙනකු නැති නිසා ද? එබැවින් වැතිරී සිටින යහනෙන් ඔබ බැස යන්නේ නැත. සැබවින් ම ඔබ මිය යනු ඇතැ” යි’ කීවා යි” පැවසූහ. රජු ඔවුන් අමතමින්, “ඔබ මුණ ගැසී, මේ දෑ පැවසූ මනුෂ්‍යයා කොහොම කෙනෙක් දැ?” යි ඇසී ය. ඔවුහු පිළිතුරු දෙමින්, “ඔහු ලෝම වස්ත්‍රයක් හැඳ, සම් පටියක් ඉඟ බැඳ සිටියේ යැ” යි කීහ. “ඒ තිෂ්බීය එලියා යැ” යි රජු පැවසී ය. එවිට ඔහු පනසකගේ සෙන්පතියකු ඔහුගේ පනසක සේනාංකය සමඟ එලියා වෙත යැවී ය. සෙන්පති කඳු මුඳුනේ හිඳ සිටි එලියා වෙත ගොස්, ඔහු අමතා, “දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, ‘පහළට බැස එන්න’ කියා රජු කියන්නේ යැ” යි කීවේ ය.