2 කොරින්ති 9

9
1ශුද්ධවතුනට සේවය කිරීම ගැන මා ඔබට ලිවීම අවශ්‍ය නැත. 2මන්ද අකාය වාසීන් පසුගිය වසරේ සිට ම සූදානමින් සිටින බැව් පවසමින්, මකිදෝනියෙහි ජනයාට ඔබ ගැන මා කළ පාරට්ටුව ලෙස, ඔබගේ ලැදි සූදානම ගැන මම දනිමි. ඔවුන් වැඩි දෙනකු පොලඹවනු ලැබුවේ ඔබගේ එම උද්යෝගයයි. 3මේ ගැන සූදානමින් සිටින්නේ යයි මා පැවසූ ලෙස ඔබ සූදානමින් සිටින පිණිස, මා මේ සහෝදරයින් එවන්නේ, මේ සම්බන්ධ ව ඔබ ගැන වූ අපගේ පාරට්ටුව හිස් නො වන පිණිස ය. 4අනෙක් අතට, මකිදෝනිවරුන් ඇතැම් දෙනකු මා සමඟ අවුත්, ඔබ කිසි සූදානමක් නැතිව සිටිනු දුටුවහොත්, ඔබට කෙසේ වෙතත්, ඔබ ගැන මෙතරම් විශ්වාසයක් තැබූ අප ලජ්ජාවට පත් වනු ඇත. 5එනිසා කලින් ඔබ වෙත අවුත්, ඔබ පොරොන්දු වූ දීමනාව කල් ඇති ව පිළියෙල කරන ලෙස මේ සහෝදරයින් පෙලඹවීම යෝග්‍යයයි මා සිතුවේ, එය බලෙන් ලබා ගත්තක් නො ව, කැමැත්තෙන් දෙන දීමනාවක් සේ පිළියෙල වන පිණිස ය.
සතුටු සිතින් දෙන්නා
6මෙය සිහි තබා ගන්න: අඩුවෙන් වපුරන්නා අඩුවෙන් කපා ගනී; වැඩියෙන් වපුරන්නා, වැඩියෙන් කපා ගනී. 7එක් එක්කෙනා දිය යුත්තේ, තමාගේ සිතින් නියම කර ගත් ලෙස විනා, අකැමැත්තෙන් හෝ බල කිරීම නිසා හෝ නො වේ. මන්ද සතුටු සිතින් දෙන්නාට දෙවියන්වහන්සේ ප්‍රේම කරන සේක. 8සියලු කල්හි, සියලු දේහි, සියල්ලෙන් සපිරි, සියලු යහපත් වැඩෙහි ඔබ ඉසුරුමත් වන පිණිස, සියලු අනුග්‍රහය ඔබට බහුල කරන්නට දෙවියන්වහන්සේට පුළුවන. 9ලියා ඇති පරිදි:
“ඔහු නො මසුරු ව බෙදා දුන්නේ ය, ඔහු දිළිඳුන්ට දුන්නේ ය.
ඔහුගේ ධර්මිෂ්ඨකම සදහට පවත්නේ ය.”#9:9 ගීතා 112;9
10වපුරන්නාට බීජ ද කෑමට ආහාර ද සපයන තැනැන්වහන්සේ ඔබට වපුරන්නට බීජ බහුල කරන සේක්, ඔබේ ධර්මිෂ්ඨකමේ අස්වැන්න සරු සාර කරන සේක. 11ඔබගේ මුළු ත්‍යාගවන්ත භාවයට, හැම අතින් ම ඔබ පොහොසත් කරනු ලබනු ඇත. එමඟින් අප තුළින් දෙවියන්වහන්සේට ස්තුති දීම් උපද්දවනු ඇත.
12මන්ද මෙම සේවයේදී ඔබ කරන මෙහෙයෙන්, ශුද්ධවතුන්ගේ අවශ්‍යතා සපිරෙනවා පමණක් නො වේ. එයින් දෙවියන්වහන්සේට බොහෝ ස්තුති දීම් ද පිටාර ගලයි. 13ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ප්‍රායෝගික ව පිළිගැනීම සමඟ ආ ඔබගේ අවනත භාවය හා ඔවුන්ටත්, අන් සියල්ලන්ටත් ඔබ පිරිනැමූ දීමනාවේ ත්‍යාගවත් භාවය නිසා, මෙම සේවයෙන් ඔප්පු කර පෙන් වූ දෙයින්, ඔවුන් දෙවියන්වහන්සේට මහිමය දෙනු ඇත. 14එසේ වන්නේ, ඔබ පිට ඇති දෙවියන්වහන්සේගේ අනුපමේය අනුග්‍රහය නිසා, ඔවුන් ඔබට ඇති ලැදියාව හා ඔබ උදෙසා ඔවුන් යාච්ඤා කරන අතරදී ය. 15වචනයෙන් විස්තර කළ නො හැකි දෙවියන්වහන්සේගේ දීමනාව ගැන උන්වහන්සේට ස්තුති වේවා!

දැනට තෝරාගෙන ඇත:

2 කොරින්ති 9: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න