ඉන්පසු ඔහු මෙසේ පැවසී ය: “ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ප්‍රශංසා වේවා! මන්ද උන්වහන්සේ මගේ පියා වූ දාවිත්ට තම මුඛයෙන් පොරොන්දු වූ දේ තම හස්තයෙන් ඉටු කළ සේක. මන්ද, උන්වහන්සේ කියා ඇත්තේ, ‘මගේ ජනයා මා විසින් ඊජිප්තුවෙන් පිටතට ගෙනා දවසේ පටන් මගේ නාමය තබන පිණිස ගෘහයක් ඉදි කරන්නට ඉශ්‍රායෙල් ගෝත්‍රවංශයක කිසි නගරයක් මා තෝරා ගත්තේ නැත. මගේ ජනයා උදෙසා පාලකයකු ලෙස කිසි මනුෂ්‍යයකු ද තෝරා ගත්තේ නැත. එහෙත් දැන් මගේ නාමය තබන පිණිස යෙරුසලම තෝරා ගතිමි. ඉශ්‍රායෙල් මගේ ජනයා පාලනය කරන්නට දාවිත් තෝරා ගතිමි’ යනුවෙනි. “ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමය උදෙසා ගෘහයක් තැනීමේ අදහසක් මා පිය දාවිත්ගේ හදවතේ තිබිණි. එහෙත් ස්වාමින්වහන්සේ මා පිය දාවිත් අමතමින්, ‘මගේ නාමය උදෙසා ගෘහයක් තනන්නට ඔබේ හදවතේ ඇති අදහස අගෙයි. කෙසේ වෙතත් ඒ ගෘහය ඉදි කරන්නේ ඔබ නො වෙයි, ඔබෙන් ම උපදින ඔබේ පුත්‍රයායි. මගේ නාමය උදෙසා ගෘහයක් ඉදි කරන්නේ ඔහු යැ’ යි පැවසූ සේක. “ස්වාමින්වහන්සේ ස්වකීය පොරොන්දුව ඉටු කළ සේක. ස්වාමින්වහන්සේ පොරොන්දු වූ පරිදි මම මගේ පියා වූ දාවිත් වෙනුවට රජ වී, ඉශ්‍රායෙල්හි සිහසුනේ හිඳ සිටිමි. එසේ ම ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමය උදෙසා ගෘහය ද ඉදි කළෙමි. ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් ජනයා සමඟ කළ උන්වහන්සේගේ ගිවිසුම තබා තිබූ කරඬුව මම එහි ස්ථානගත කළෙමි.” ඉන්පසු සාලමොන් ස්වාමින්වහන්සේගේ පූජාසනය අබියස, මුළු ඉශ්‍රායෙල් ජන සමූහය ඉදිරිපිට සිටගෙන, තම දෑත් විදහා ගත්තේ ය. සාලමොන් ලෝකඩ වේදිකාවක් තනා තිබිණ. රියන් පහක් දිග, රියන් පහක් පළල, රියන් තුනක් උස එය ගෘහ මළුව මධ්‍යයේ තබා තිබිණ. ඊට ගොඩ වූ ඔහු මුළු ඉශ්‍රායෙල් ජන සමූහය ඉදිරිපිට තම දණින් හිඳ, තම දෑත් ස්වර්ගය දෙසට විහිදා, මෙසේ පැවසී ය: “අහෝ ස්වාමින්වහන්ස, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස, ඔබ වැනි දෙවියන්වහන්සේ කෙනෙක් ස්වර්ගයේවත්, පොළොවේවත් නැත. තම මුළු හදින් ඔබ ඉදිරියේ හැසිරෙන ඔබගේ සේවකයිනට ඔබගේ නොමියෙන ප්‍රේමයේ ගිවිසුම ඔබ පවත්වන සේක. ඔබේ සේවක, මා පිය දාවිත්ට ඔබ ප්‍රකාශ කළ දෙය ඔබ ඉටු කළ සේක. ඔබගේ මුඛයෙන් පැවසූ දෑ අද දවසේ ඔබගේ හස්තයෙන් ඉටු කළ සේක.
2 ලේකම් 6 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 2 ලේකම් 6:4-15
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ