2 ලේකම් 30:1-12
2 ලේකම් 30:1-12 SCV
මුළු ඉශ්රායෙල් හා යූදා වෙත පණිවුඩ යැවූ හෙසකියා, එප්‍රායිම් හා මනස්සේ වෙත ද ලිපි ලියා, ඔවුන් සැවොම ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේට පාස්කුව පවත්වන පිණිස යෙරුසලමෙහි ස්වාමින්වහන්සේගේ ගෘහයට පැමිණිය යුතු යයි දැන්වී ය. මන්ද රජු හා ඔහුගේ අධිපතීන් ද යෙරුසලමෙහි මුළු සභාව ද පාස්කුව දෙවන මාසයේ පැවැත්වීමට මන්ත්‍රණ කොට තිබිණ. මන්ද යත් ඊට නියමිත කාලයේ එය පැවැත්වීමට ඔවුනට නො හැකි වී තිබිණ. එසේ වූයේ පූජකයින් අවශ්‍ය ගණනට අනුව තමන් ම පවිත්‍ර වී නො සිටි නිසාත්, ජනයා යෙරුසලමට එක් රැස් වී නො සිටි නිසාත් ය. තවද මෙම සැලැස්ම යෙහෙකැයි රජුටත්, මුළු සභාවටත් පෙනී ගියේ ය. එබැවින් ඔවුහු ඉශ්රායෙල් මුළුල්ලේ, බෙයර්ෂෙබා පටන් දාන් දක්වා නිවේදනයක් කරවීමට නියම කර ගත්හ. ඒ, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේට යෙරුසලමෙහි දී පාස්කුව පැවැත්වීමට ජනයා පැමිණිය යුතු බවට ය. මන්ද ඔවුන් දිගු කලක් එය ලියා තිබූ හැටියට නො පවත්වා තිබූ හෙයිනි. රජුගේ අණ පරිදි, පණිවුඩකරුවෝ ඉශ්රායෙල් සහ යූදා මුළුල්ලේ, රජුගෙන් සහ ඔහුගේ අධිපතීන්ගෙන් ලත් ලිපි රැගෙන ගියහ. එහි මෙසේ සඳහන් විය: “එම්බා ඉශ්රායෙල් ජනයිනි, අසිරියාවේ රජුන් අතින් බේරී පලා ආ ඔබගේ ඉතිරි ස්වල්ප දෙනා වෙත උන්වහන්සේ ද යළි හැරෙන පිණිස, ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ඉශ්‍රායෙල්ගේ ද දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ වෙත ආපසු හැරී එන්න. තම පියවරුන්ගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේට ද්‍රෝහි වූ ඔබේ පියවරුන් මෙන්, ඔබේ නෑදෑ සහෝදරයින් මෙන් නො වන්න; ඔබට පෙනෙන පරිදි එනිසා උන්වහන්සේ ඔවුන් තැතිගැන්මේ ආදර්ශයක් බවට පත් කළ සේක. ඔබගේ පියවරුන් පරිදි මුරණ්ඩු වූවන් නො වන්න. ස්වාමින්වහන්සේට ඔබ ම යටත් වී, සදහට ම උන්වහන්සේ පවිත්‍ර කරන ලද උන්වහන්සේගේ ශුද්ධස්ථානයට පැමිණ, උන්වහන්සේගේ රුදුරු කෝපය ඔබ වෙතින් පහව යන පිණිස, ඔබේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේට සේවය කරන්න. ස්වාමින්වහන්සේ වෙත ඔබ ආපසු හැරී ආවොත්, ඔබේ සහෝදරයින් හා ඔබේ දරුවන් අල්ලා ගනු ලැබූවන්ගෙන් අනුකම්පාව ලැබ, මේ රටට ආපසු පැමිණෙනු ඇත. මන්ද ඔබේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ කරුණාවන්ත ය; දයාවන්ත ය; ඔබ උන්වහන්සේ වෙත ආපසු හැරී ආවොත්, උන්වහන්සේ ස්වකීය මුහුණ ඔබ වෙතින් ඉවත හරවනු නැත.” එබැවින් පණිවුඩකරුවෝ එප්‍රායිම් දේශය හා මනස්සේ දේශය මුළුල්ලේත්, ඉන් එහාට සාබුලොන් දක්වාත් පුරවරයෙන් පුරවරයට ගියහ. එහෙත් ජනයා ඔවුන්ට සමව්චලයට සිනාසුණහ; ඔවුන්ට අවමන් කළහ. කෙසේ වෙතත්, ආෂෙර් වෙතින්, මනස්සේ වෙතින් හා සාබුලොන් වෙතින් ඇතැම් දෙනෙක් තුමූම යටහත් ව යෙරුසලමට ආහ. දෙවියන්වහන්සේගේ හස්තය යූදා පිට ද වූයේ රජු හා අධිපතීන් ස්වාමින්වහන්සේගේ වචනයෙන් ආඥා කළ දෑ එක හදවතකින් කරන්නට ඔවුනට හැකි වන පිණිස ය.

