2 ලේකම් 17

17
යෙහෝෂාෆාට් රජ
1ඔහුගෙන් පසු ඔහුගේ පුත් යෙහෝෂාෆාට් රජකමට පත් විය. ඔහු ඉශ්‍රායෙල්ට එරෙහිව තමා ශක්තිමත් කර ගත්තේ ය. 2ඔහු යූදාහි සියලු බළකොටු පුරවරවල සෙබළුන් ස්ථානගත කර, යූදාහි ද තම පියා වූ ආසා අල්ලා ගත් එප්‍රායිම් නගරවල ද නගර ආරක්ෂක සේනාංක සිටුවී ය.
3 ස්වාමින්වහන්සේ, යෙහෝෂාෆාට් සමඟ වූ සේක. මන්ද ඔහු තමාගේ පියා වූ දාවිත්#17:3 දාවිත් ග්‍රීක් පිටපත්වල දාවිත් යන වචනය හමු නො වේ. මුල් කාලවලදී අනුගමන කර තිබූ මාර්ගවල පැවතුණු බැවිනි. ඔහු බාල් දෙවිවරුන්ගෙන් විමසන්නට ගියේ නැත. 4ඉශ්‍රායෙල්ගේ ක්‍රියාවන් අනුව නො ගිය ඔහු තම පියාගේ දෙවියන්වහන්සේ සෙවී ය. උන්වහන්සේගේ ආඥා අනුගමන කළේ ය. 5ස්වාමින්වහන්සේ ඔහුගේ අතේ රාජ්‍යය තහවුරු කළ සේක; සියලු යූදාවරු යෙහෝෂාෆාට් වෙත තෑගි ගෙන ආහ. එසේ බොහෝ වස්තුව ද ගෞරවය ද ඔහු සතුවිය. 6ඔහුගේ හදවත ස්වාමින්වහන්සේගේ මාර්ගවල ධෛර්යවත් විය. තවදුරටත් ඔහු උස් තැන් පූජාසන හා අෂේරා කණු යූදා වෙතින් ඉවත් කළේ ය.
7තම රාජ්‍ය පාලනයේ තුන් වන අවුරුද්දේදී ඔහු තම නිලධාරීන් වන බෙන්-හයිල්, ඔබදියා, සෙකරියා, නෙතනේල් හා මීකායා යූදා නගරවල උගන්වන පිණිස පිටත් කර යැවී ය. 8ඔහු ඔවුන් සමඟ ලෙවීවරුන් වන ෂෙමායා, නෙතනියා, සෙබදියා, අසාහෙල්, ෂෙමිරාමොත්, යෙහෝනාතාන්, අදොනීයා, ටෝබීයා, ටෝබ්-අදොනියා ද පූජකයින් වන එලිෂාමා හා යෙහෝරාම් ද යැවී ය. 9ඔවුහු තමන් වෙත වූ ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථා පොත යූදාහි ඉගැන්වූහ; ඔවුහු සියලු යූදා නගර කරා ගොස්, ජනතාව අතරේ ඉගැන්වූහ.
10 ස්වාමින්වහන්සේගේ භීතිය යූදා අවට දේශවල සියලු රාජ්‍යයන් මත පතිත වූයෙන් ඔවුහු යෙහෝෂාෆාට්ට එරෙහිව යුද්ධ නො කළහ. 11ඇතැම් පිලිස්තිවරු කප්පම් වශයෙන් යෙහෝෂාෆාට් වෙත තෑගි සහ රිදී ගෙනාහ. අරාබිවරු බැටළුවන් හත්දහස් හත්සියයක් හා එළුවන් හත්දහස් හත්සියයක් වන රැළවල් ඔහු වෙත ගෙන ආහ.
12යෙහෝෂාෆාට් ස්ථිරසාර ලෙස බලවත් විය. ඔහු යූදා දේශය තුළ බළකොටු හා ගබඩා පුරවර ඉදි කළේ ය. 13ඔහුට යූදා නගරවල බඩු භාණ්ඩ බෙහෙවින් තිබිණි. වික්‍රමාන්විත මිනිසුන් වූ සෙබළු ඔහුට යෙරුසලමේ සිටියහ. 14ඔවුන්ගේ පියවංශවලට අනුව ඔවුන්ගේ ලියාපදිංචි ලැයිස්තුව මෙයයි:
යූදාගෙන් දහසකගේ සෙන්පතීහු:
සෙන්පති අද්නා සමඟ වික්‍රමාන්විත බලවත් මිනිස්සු තුන් ලක්ෂයක් වූහ.
15ඊළඟට සෙන්පති යෙහෝහානාන් සමඟ දෙලක්ෂ අසූදහසකි.
16ඊළඟට සික්රීගේ පුත් අමසියා ය. ඔහු ස්වාමින්වහන්සේගේ මෙහෙය සඳහා ස්ව-කැමැත්තෙන් ම ඉදිරිපත් වී සිටියේ ය. ඔහු සමඟ වික්‍රමාන්විත බලවත් මිනිසුන් දෙලක්ෂයක් වූහ.
17බෙන්යමින්ගෙන්:
වික්‍රමාන්විත බලවත් මිනිසකු වූ එලියාදා සමඟ දුනුවලින් ද පලිහවලින් ද සන්නද්ධ වූ දෙලක්ෂයක් වූහ.
18ඊළඟට යෙහෝසාබාද් සමඟ යුද්ධයට සන්නද්ධ වූ එක්ලක්ෂ අසූදහසකි.
19රජු විසින් යූදා දේශය පුරා බළකොටු පුරවරවල රඳවන ලද්දවුන් හැර රජුගේ සේවයේ නිරත වූවෝ මොවුහු ය.

දැනට තෝරාගෙන ඇත:

2 ලේකම් 17: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න