2 ලේකම් 15:1-19

2 ලේකම් 15:1-19 SCV

දෙවියන්වහන්සේගේ ආත්මයාණෝ, ඕදේද්ගේ පුත් අසරියා පිට පැමිණියහ. ඔහු ආසා හමුවට පිටත් ව ගොස්, ඔහු අමතා, “ආසා සහ යූදා හා බෙන්යමින් සියලු ජනයෙනි, මට සවන් දෙන්න. ඔබ ස්වාමින්වහන්සේ සමඟ නම් උන්වහන්සේ ඔබ සමඟ වන සේක. ඔබ උන්වහන්සේ සොයනවා නම් උන්වහන්සේ ඔබට සම්බවනසේක. එහෙත් ඔබ උන්වහන්සේ අත්හරිනවා නම් උන්වහන්සේ ද ඔබ අත්හරිනු ඇත. මන්ද ඉශ්‍රායෙල්වරු දිගු කලක් සැබෑ දෙවියන්වහන්සේ නැතුව, උගන්වන්නට පූජකයකු නැතුව, ව්‍යවස්ථාව ද නැතුව සිටියහ. එහෙත් ඔවුහු තම විපතේදී ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ වෙත හැරී, උන්වහන්සේ සෙවූහ. උන්වහන්සේ ද ඔවුන්ට හමු වූ සේක. එකල්හි පිටතට ගිය කෙනාට හා ඇතුළට ආ කෙනාට සාමයක් නො විණ. මන්ද සියලු දේශ වාසීන් පිට මහත් පීඩා පැමිණියේ ය. එක් ජාතියක් විසින් තවත් ජාතියක් ද එක් පුරවරයක් විසින් තවත් පුරවරයක් ද පොඩිකර දැමිණ. මන්ද දෙවියන්වහන්සේ සියලු ආකාර විපත්වලින් ඔවුන් කැලඹූ සේක. එහෙත් ඔබ සවිමත් ව සිටින්න. අත් බෙලහීන වන්නට ඉඩ නො දෙන්න. මන්ද ඔබේ වැඩට ඉටු විපාක ලැබෙන්නේ යැ” යි පැවසී ය. ආසා මේ වචන එනම් දිවැසිවර ඕදේද්ගේ පුත් අසරියාගේ දිවැස් වැකිය ඇසූ විගස ධෛර්යවත් වී, මුළු යූදා හා බෙන්යමින් දේශයෙන් ද තමා අල්ලා ගත් එප්‍රායිම් කඳුකරයේ නගරවලින් ද පිළිකුල් සහගත දේවතා පිළිම ඉවත් කර, ස්වාමින්වහන්සේගේ ගෘහයේ පිවිසුම් ශාලාව ඉදිරිපිට තිබූ ස්වාමින්වහන්සේගේ පූජාසනය පිළිසකර කළේ ය. ඔහු යූදා හා බෙන්යමින් සියලු ජනයා ද ඔවුන් අතරේ පදිංචි ව සිටි එප්‍රායිම්, මනස්සේ හා සිමියොන් ජනයා ද එක් රැස් කරවී ය. ඔහුගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔහු සමඟ සිටිනු දුටු ඔවුහු ඉශ්‍රායෙලයේ සිට ගණනින් විශාල වශයෙන් ඔහු වෙත පැමිණ සිටියහ. ඔවුහු ආසාගේ රාජ්‍ය පාලනයේ පහළොස් වන වසරේ තුන් වන මාසයේ යෙරුසලමට එක් රැස් වූහ. ඔවුහු ගෙනැවිත් තිබූ කොල්ලයෙන් ගවයින් හත්සියයක් ද බැටළුවන් හත්දහසක් ද එම අවස්ථාවේදී ස්වාමින්වහන්සේට පූජා කළහ. ඔවුහු තමන්ගේ මුළු හදවතින් ද මුළු ජීවයෙන් ද තම පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ සොයන පිණිස ගිවිසුමකට එළැඹුණහ. ඒ, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ නො සොයන සියල්ලන් ඔවුන් ලොකු හෝ කුඩා වුවත්, පිරිමි හෝ ගැහැණු වුවත් මරා දමන බවට ය. ඔවුහු මහත් ඝෝෂාව, ඔල්වර හඬ, හොරණෑ නාද හා බැටළු අං නළා හඬ ද ඇතුව ස්වාමින්වහන්සේට දිවුරුමක් ශපථ කළහ. තමන්ගේ මුළු හදින් දිවුළ දිවිරීම පිළිබඳව මුළු යූදා ජනතාව ප්‍රීති වූහ. ඔවුහු දෙවියන්වහන්සේ සොයන පිණිස උත්සුක වූහ. ඔවුන්ට උන්වහන්සේ සම්බ විය. එබැවින් ස්වාමින්වහන්සේ හැම අතින් ම ඔවුන්ට විශ්‍රාමය දුන් සේක. ආසා රජුගේ මව වූ මයකා පිළිකුල් අෂේරා රූප ස්තම්භයක් සෑදූ බැවින්, ආසා රජු මව් බිසෝ තනතුරෙන් ඇය ඉවත් කළේ ය. ආසා එම රූප ස්තම්භය කපා දමා, කිද්‍රොන් නිම්නයේදී එය පුලුස්සා දැමී ය. එහෙත් ඉශ්‍රායෙල් වෙතින් උස් තැන් පුදසුන් ඉවත් නො කරන ලදී. එනමුත් ආසාගේ ජීවිතයේ සියලු දවස්වල ඔහුගේ හදවත මුළුමනින් ම ස්වාමින්වහන්සේට කැප ව තිබුණි. ඔහු තම පියාත්, තමාත් කැප කර තිබූ රිදී හා රන් ද භාණ්ඩ ද දෙවියන්වහන්සේගේ ගෘහයට ගෙනාවේ ය. ආසාගේ රාජ්‍යයේ තිස්පස් වැනි වසර දක්වා යුද්ධ ඇති නො විණ.