2 ලේකම් 10:1-14
2 ලේකම් 10:1-14 SCV
රෙහොබොවම් ෂෙකෙම් වෙත ගියේ ය. මන්ද සියලු ඉශ්‍රායෙල්වරු ඔහු රජකමට පත් කරන්නට එහි ගොස් සිටියහ. සාලමොන්ගේ මරණය ඇසූ විගස, නෙබාට්ගේ පුත් යෙරොබොවම් ඊජිප්තුවේ සිට පෙරළා ආවේ ය. (මන්ද ඔහු සාලමොන් රජු වෙතින් ඊජිප්තුවට පලා ගොස් සිටියේ ය.) එබැවින් ඔවුහු යෙරොබොවම් කැඳවා යැවූහ. ඔහු සියලු ඉශ්‍රායෙල්වරුන් සමඟ රෙහොබොවම් වෙත ගොස්, ඔහුට කතා කොට, “ඔබේ පියා බර වියගහක් අප පිට තැබී ය. එහෙත් දැන් ඒ කර්කශ මෙහෙවර ද ඔහු අප පිට තැබූ බර වියගහ ද සැහැල්ලු කරන්න. එවිට අපි ඔබට මෙහෙ කරන්නෙමු” යි පැවසී ය. රෙහොබොවම් පිළිතුරු දෙමින්, “දින තුනකින් යළි මා වෙත එන්නැ” යි පැවසී ය. එබැවින් ජනයා යන්නට ගියහ. ඉන්පසු රෙහොබොවම් රජු තම පියා වූ සාලමොන්ගේ ජීවිත සමයේ ඔහු ඉදිරිපිට සිටි වැඩිහිටියන්ගෙන් උපදෙස් අසමින්, “මෙම ජනතාවට පිළිතුරු දීමට ඔබ මට දෙන දැනමුතුකම කුමක් දැ” යි ඇසී ය. ඔවුහු පිළිතුරු දෙමින්, “ඔබ මේ ජනයාට කාරුණික ව, ඔවුන් සතුටු කර, ඔවුන්ට හොඳින් කතා කරන්නේ නම්, ඔවුන් හැමදාට ම ඔබේ සේවකයින් වනු ඇතැ” යි පැවසූහ. එහෙත් වැඩිහිටියන් තමාට දුන් උපදෙස ප්‍රතික්ෂේප කළ රෙහොබොවම් තමා සමඟ හැදුණු වැඩුණු, තමාට සේවය කරන තරුණයින්ගෙන් උපදෙස් පැතී ය. ඔහු ඔවුන් අමතමින්, “ඔබගේ දැනමුතුකම කුමක් ද? ‘ඔබගේ පියා අප පිට තැබූ වියගහ සැහැල්ලු කරන්නැ’ යි මට පවසන මේ මිනිසුන්ට අප පිළිතුරු දිය යුත්තේ කෙසේ දැ” යි ඇසී ය. ඔහු සමඟ වැඩුණු තරුණයින් ඔහුට පිළිතුරු දෙමින්, “ ‘ඔබේ පියා බර වියගහක් අප පිට තැබී ය. අපගේ වියගහ සැහැල්ලු කරන්නැ’ යි ඔබට පවසන මිනිසුන්ට ඔබ කිව යුත්තේ මෙසේයි. ඔබ කිය යුත්තේ, ‘මගේ පියාගේ ඉඟටියට වඩා මගේ සුළැඟිල්ල ලොකු ය. මගේ පියා ඔබ පිට බර වියගහක් තැබී ය. මම එය තවත් බර කරන්නෙමි. මගේ පියා ඔබ හික්මවූයේ කසවලිනි. මා ඔබ හික්මවන්නේ ගෝනුස්සන්ගෙනි’ යි කියන්නැ” යි පැවසූහ. “තුන් වන දින මා වෙත යළි එන්නැ” යි රජු කියා තිබූ පරිදි යෙරොබොවම් සහ මුළු ජනතාව තුන් වන දින රෙහොබොවම් වෙත යළි පැමිණියහ. රජු පරුෂ අන්දමින් ඔවුන්ට පිළිතුරු දුන්නේ වැඩිහිටියන්ගේ උපදෙස ප්‍රතික්ෂේප කරමිනි. තරුණයින්ගේ උපදෙසට අනුව රෙහොබොවම් රජු ඔවුන් අමතමින්, “මගේ පියා ඔබගේ වියගහ බර කළේ ය. මම එය තවත් බර කරන්නෙමි. මගේ පියා ඔබ හික්මවූයේ කසවලිනි. මා ඔබ හික්මවන්නේ ගෝනුස්සන්ගෙනි” යි පැවසී ය.

