1 තෙසලෝනික 4

4
දෙවිඳුන් ප්‍රසන්න දිවියකට
1අවසන් වශයෙන් සහෝදරයිනි, දෙවියන්වහන්සේට ප්‍රසන්න අයුරින් ජීවත් විය යුත්තේ කෙසේදැයි අපි ඔබට උපදෙස් දුනිමු; සැබවින් ම ඔබ ජීවත් වන්නේ එලෙස ය. යේසුස් ස්වාමින්වහන්සේ තුළ අප දැන් ඔබෙන් ඉල්ලා සිටින්නේ, උදක් ම කියා සිටින්නේ වඩ වඩාත් එසේ කරන ලෙසයි. 2යේසුස් ස්වාමින්වහන්සේගේ ආධිපත්‍යය යටතේ අප ඔබට දුන් ආඥා කවරේ ද කියා ඔබ දන්නහු ය.
3දෙවියන්වහන්සේගේ කැමැත්ත ඔබ ශුද්ධ ව සිටීමයි; ලිංගික දුරාචාරයෙන් වැළකී සිටීමයි. 4ඔබ හැම කෙනකු ම ශුද්ධ වූත්, ගෞරවණීය වූත් අයුරින් තමාගේ සිරුර පාලනය කර ගැන්මට උගත යුත්තේ, 5දෙවියන්වහන්සේ නො හඳුනන අන්‍ය-ජාතීන් මෙන් කාම තෘෂ්ණාවේ නො ගැලීමෙනි. 6මේ සම්බන්ධ ව කිසිවකු තම සහෝදරයා රවටා, වාසියක් ලබා නො ගත යුතු ය. අප ඔබට පවසා ඇති පරිදි, අප ඔබට අවවාද දී ඇති පරිදි ඒවාට ස්වාමින්වහන්සේ පළිය ගන්නා සේක. 7මන්ද දෙවියන්වහන්සේ අප කැඳවා ඇත්තේ අපවිත්‍රකමට නො ව ශුද්ධකමට ය. 8එබැවින් මේ උපදෙස් ප්‍රතික්ෂේප කරන කවරකු වුව ප්‍රතික්ෂේප කරන්නේ මිනිසකු නො ව, ඔබට ස්වකීය ශුද්ධාත්මයාණන් දෙන දෙවියන්වහන්සේ ය.
9සහෝදර ප්‍රේමය ගැන නම් ඔබට ලිවීම අවශ්‍ය නැත. මන්ද එකිනෙකාට ප්‍රේම කිරීමට ඔබ ම දෙවියන්වහන්සේගෙන් උගෙන ඇති බැවිනි. 10සැබවින් ම ඔබ මකිදෝනියෙහි සමස්ත සහෝදරයිනට ප්‍රේම කරනවා වුව ද, වඩ වඩාත් එසේ කරන ලෙස අපි උදක් ම ඉල්ලන්නෙමු. 11අප ඔබට පැවසූ පරිදි නිසංසල ජීවිතයක් ගත කිරීමත්, තමන්ගේ වැඩ බලාගැනීමත්, ඔබේ ම දෑත වෙහෙසා වැඩ කිරීමත් ඔබේ අභිලාෂය කර ගන්න. 12එසේ වූ කල, ඔබගේ ජීවන රටාව, පිටස්තර අයගේ ගරුත්වය දිනාගනු ඇත. ඔබ අනුන්ගේ පිහිටෙන් යැපෙන්නකු ද නො වනු ඇත.
සැතපී සිටින්නන් ගැන
13සහෝදරයිනි, සැතපී සිටින්නන් ගැන ඔබ නො දැන සිටීම අපගේ කැමැත්ත නො වේ. බලාපොරොත්තුවක් නැති සෙසු ලෝකයා මෙන්, ඔවුන් ගැන ඔබ ශෝක නො විය යුතු ය. 14යේසුස්වහන්සේ මැරුණු බවත්, යළි නැගුටුණු බවත් අප විශ්වාස කරන ලෙස ම උන්වහන්සේ තුළ සැතපුණු අය දෙවියන්වහන්සේ, යේසුස්වහන්සේ සමඟ ගෙන එනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු. 15ස්වාමින්වහන්සේගේ ම වචනවලට අනුව අප ඔබට කියන්නේ, ස්වාමින්වහන්සේගේ පැමිණීම තෙක් ඉතිරි ව ජීවත් ව සිටින අප, සැතපුණු අයට වඩා කිසි සේත් ඉස්සර නො වන බවයි. 16මන්ද මහ හඬින් විධානයක් ද අග්‍ර දේව දූතයාගේ කටහඬ ද දෙවියන්වහන්සේගේ හොරණෑ ඇමතුම් හඬ ද සමඟින් ස්වාමින්වහන්සේ ම ස්වර්ගයෙන් බැස එන සේක. එකල, ක්‍රිස්තුස්වහන්සේ තුළ මළාහු පළමු කොට නැගිටිති. 17එවිට, තවමත් ඉතිරි ව ජීවත් ව සිටින අපි අහසේදී ස්වාමින්වහන්සේ මුණ ගැසෙනු පිණිස ඔවුන් වෙත වලාකුළු තුළට ඔසවා ගනු ලබන්නෙමු. මෙසේ අපි සදහට ම ස්වාමින්වහන්සේ සමඟ සිටින්නෙමු. 18එබැවින් මෙවදන්වලින් එකිනෙකා දිරි ගන්වන්න.

දැනට තෝරාගෙන ඇත:

1 තෙසලෝනික 4: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න