1 තෙසලෝනික 3

3
1තවදුරටත් මෙය දරා සිටිය නො හැකි වූ කල, ඇතන්ස්හි අප තනි කරනු ලැබීමට කැමති ව, 2අපගේ සහෝදරයා හා ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය පැතිරවීමේ දෙවියන්වහන්සේගේ හවුල් සේවකයා වූ තිමෝති ඔබ වෙත එවීමු. ඒ ඔබගේ ඇදහිල්ල තුළ ඔබ ධෛර්යවත් කර, ස්ථිර ව සිටුවන්නට ය. 3එසේ කළේ, ඔබ කිසිවකුත් මෙම දුක්-පීඩාවලින් චංචල නො වන පිණිස ය. ඒ දුක් පීඩා අපට නියම ව තිබෙන වග ඔබ දන්නහු ය. 4හිංසා පීඩාවනට අප ගොදුරු වන වග අප ඔබ සමඟ සිටියදී නිති ඔබට පැවසීමු. ඔබ දන්නා පරිදි දැන් සිදුව ඇත්තේ එය ම ය. 5මේ හේතුව නිසා තවදුරටත් මෙය දරා සිටිය නො හැකි වූ කල්හි, ඔබගේ ඇදහිල්ල පිළිබඳ තතු විමසා බැලීමට මම තිමෝති පිටත් කර එව්වෙමි. ඒ, පරීක්ෂාකාරයා යම් ලෙසකින් ඔබ පරීක්ෂාවක හෙළා, ඔබ උදෙසා අප දැරූ වෙහෙස අපතේ යාදෝයි මා තැති ගත් නිසා ය.
තිමෝති ගෙන ආ සුපුවත්
6කෙසේ වෙතත් ඔබගේ ඇදහිල්ලත්, ඔබගේ ප්‍රේමයත් ගැන සුපුවත් ගෙන තිමෝති දැන් අප වෙත අවුත් සිටී. ඔබ නිබඳ ව සතුටු සිතින් අප සිහි කරන බවත්, ඔබ දැකුමට අප මහත් ආශාවෙන් සිටින සේ ම, අප දැකුමට ඔබත් දැඩි ආශාවෙන් සිටින බවත්, ඔහු අපට පැවසී ය. 7එබැවින් සහෝදරයිනි, සියලු ආපදා හා හිංසන මැදදීත් අපි, ඔබගේ ඇදහිල්ල නිසා ඔබගෙන් ධෛර්යය ලැබ සිටින්නෙමු. 8ස්වාමින්වහන්සේ තුළ ඔබ ස්ථිර ව පිහිටා සිටීම අපට සැබවින් ම ජීවනයයි. 9ඔබ නිසා අපගේ දෙවියන්වහන්සේ ඉදිරියේ අප ලද සකල ප්‍රීතිය නිමිත්තෙන් ඔබ ගැන කෙලෙස නම් අපි දෙවියන්වහන්සේට ස්තුති කරන්න ද? 10යළිත් අපට ඔබේ මුහුණ දකිනු හැකි වන පිණිසත්, ඇදහිල්ලේ ඔබගේ ඌනතා සපිරෙනු පිණිසත් අපි, දිවා රෑ දෙක්හි ඉමහත් උනන්දුවෙන් ඔබ ගැන යාච්ඤා කරන්නෙමු.
11අපගේ දෙවියන්වහන්සේ වන පියාණන්වහන්සේ හා අප ස්වාමින්වහන්සේ වන යේසුස්වහන්සේ, ඔබ වෙත ඒමට අපට මග සලසා දෙන සේක්වා! 12ඔබ වෙත ඇති අපගේ ප්‍රේමය යම් සේ ද, එලෙස ඔබගේ ප්‍රේමයත් ඔබ එකිනෙකා කෙරෙහි හා අන් සැම කෙරෙහි වැඩි වී පිරී ඉතිරී යන්නට ස්වාමින්වහන්සේ මග සලසන සේක්වා! 13එසේ අප ස්වාමින්වහන්සේ වන යේසුස්වහන්සේ, උන්වහන්සේගේ සියලු ශුද්ධවන්තයින් සමඟ එන කල, අපගේ දෙවියන්වහන්සේ හා පියාණන්වහන්සේ අබියස ඔබ ශුද්ධත්වය තුළ දෝෂ රහිත ව සිටින පිණිස, උන්වහන්සේ ඔබේ හදවත් ශක්තිමත් කරන සේක්වා!

දැනට තෝරාගෙන ඇත:

1 තෙසලෝනික 3: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න