1 සාමුවෙල් 28

28
1එදවස්හි ඉශ්‍රායෙල්වරුන්ට එරෙහිව සටන් කරන පිණිස, පිලිස්තිවරු තම සේනාංක එක් රැස් කරවූහ. දාවිත්ට කතා කළ ආකීෂ්, “ඔබ ද ඔබේ මිනිසුන් ද මා සමඟ යුද්ධ සේනාංකයේ යා යුතු වග ඔබ වටහා ගත යුතු යැ” යි පැවසී ය.
2දාවිත් පිළිතුරු දෙමින්, “අගෙයි එසේ නම්, ඔබේ සේවකයාට කළ හැකි දේ කවරේදැයි ඔබට ම දැක බලා ගත හැකි යැ” යි කීවේ ය.
ආකීෂ් ඊට පිළිතුරු දෙමින්, “බොහොම හොඳයි. දිවි හිමියෙන් ඔබ මගේ පෞද්ගලික ආරක්ෂකයා කරන්නෙමි” යි කීවේ ය.
සාවුල් හා ආත්මබන්ධනකාරිය
3මේ වන විට සාමුවෙල් මියැදී තිබිණ. සියලු ඉශ්‍රායෙල්වරු ඔහු ගැන ශෝක වී, ඔහුගේ නගරය වූ රාමාහි ඔහු භූමදාන කර තිබිණ. මේ අතර සාවුල් ආත්ම බන්ධනකරුවන් සහ පේන කියන්නන් රටින් නෙරපා හැර තිබිණ.
4පිලිස්තිවරු එක් රැස් වී, පැමිණ, ෂූනෙම්හි කඳවුරු ලා ගත්හ. ඒ අතර, සාවුල් මුළු ඉශ්‍රායෙල් රැස් කරවා, ගිල්බෝවහි කඳවුරු ගැසී ය. 5සාවුල්, පිලිස්ති හමුදාව දුටු කල, භය විය. ඔහුගේ හද මහ භීතියෙන් වෙළිණි. 6සාවුල් ස්වාමින්වහන්සේගෙන් විමසුවේ ය. එහෙත් ස්වාමින්වහන්සේ සිහින මගින් හෝ ඌරීම් මගින් හෝ දිවැසිවරුන් මගින් හෝ ඔහුට උත්තර නො දුන් සේක. 7එවිට සාවුල් තම සේවකයින්ට කතා කොට, “මා ගොස් ඇගෙන් විමසන පිණිස, ආත්ම බන්ධනකාරියක වන ගැහැණියක් සොයන්නැ” යි කීවේ ය.
සේවකයෝ පිළිතුරු දෙමින්, “අන්න, ඒන්-දෝර්හි ආත්ම බන්ධනකාරියක් සිටිනවා” යි කීවෝ ය.
8එවිට සාවුල් වෙස් වළාගෙන, වෙනත් ඇඳුමින් සැරසී, මිනිසුන් දෙදෙනකු සමඟ රැයේ එම ස්ත්‍රිය හමුවීමට ගියේ ය. ඔහු කතා කරමින්, “මා උදෙසා ආත්මයකින් විමසන්න. මා නම් කරන කෙනා කැඳවන්නැ” යි කීවේ ය.
9එහෙත් එම ස්ත්‍රිය කතා කරමින්, “සාවුල් කර ඇති දෑ ඔබ හොඳින් දනී. ඔහු ආත්ම බන්ධනකරුවන් හා පේන කියන්නන් දේශයෙන් සිඳ දැම්මා. මා මරණයට හසුවන ලෙස, මගේ ජීවිතයට ඔබ උගුල් අටවන්නේ මන්දැ?” යි කීවා ය.
10සාවුල් ඇයට ස්වාමින්වහන්සේගේ නාමයෙන් දිවුරමින්, “ස්වාමින්වහන්සේ ජීවත් වන්නා සේ ම, මේ සම්බන්ධයෙන් ඔබට දඬුවම් කරනු ලබන්නේ නැතැ” යි කීවේ ය.
11එවිට ඒ ස්ත්‍රිය ප්‍රශ්න කරමින්, “ඔබට මා කවුරු නැගිටුවා ගෙනෙන්න දැ?” යි ඇසී ය.
“මා වෙනුවෙන් සාමුවෙල් නැගිටුවා ගෙනෙන්නැ” යි ඔහු පිළිතුරු දුන්නේ ය.
12ස්ත්‍රිය සාමුවෙල් දුටු කල, යටි ගිරියෙන් මර හඬ දෙමින්, “ඇයි ඔබ මා රැවටුවේ? ඔබ සාවුල්” යැයි සාවුල්ට කීවා ය.
13රජු ඇයට පිළිතුරු දෙමින්, “බය වන්න එපා. ඔබට පෙනෙන්නේ මොනවා දැ?” යි ඇසී ය.
“දිව්‍යම කෙනකු#28:13 දිව්‍යම කෙනකු හෙවත් ආත්ම නැතහොත් දෙවිවරු පොළොවෙන් නැගී එනු මට පෙනේ” යැයි ඈ කීවා ය.
14“ඔහුගේ පෙනුම කෙසේ දැ?” යි ඔහු ඇසී ය.
“දිගු ලෝගුවක් පොරවා ගත් මහලු මිනිසකු එන්නේ යැ” යි ඈ කීවා ය.
එවිට ඒ සාමුවෙල් වග සාවුල් දැනගත්තේ ය. ඔහු බිමට නැමී, මුහුණ බිමට නමා, ප්‍රණාම දැක්වී ය.
15එවිට සාමුවෙල්, සාවුල් අමතමින්, “මා නැගුටුවාලීමෙන් ඔබ මා කැලඹුවේ ඇයි දැ?” යි ඇසී ය.
සාවුල් පිළිතුරු දෙමින්, “මා මහත් කරදරයකට පත් වෙලා; පිලිස්තිවරු මට එරෙහිව යුද්ධ කරනවා; දෙවියන්වහන්සේ මගෙන් ඉවත හැරිලා. දිවැසිවරුන් මගින් හෝ සිහින මගින් උන්වහන්සේ තවදුරටත් මට උත්තර දෙන්නේ ම නෑ. එබැවින් මා කුමක් කළ යුතුදැයි මට කියන ලෙස මා ඔබ කැඳෙව්වා” යි පැවසී ය.
16සාමුවෙල් පිළිතුරු දෙමින්, “ස්වාමින්වහන්සේ ඔබට පිටුපා, ඔබට සතුරු ව සිටියදී, ඔබ මගෙන් විමසන්නේ ඇයි? 17ස්වාමින්වහන්සේ කර ඇත්තේ මා මගින් අනාවැකියෙන් කී දෑයි; ස්වාමින්වහන්සේ රාජ්‍යය ඔබේ අතින් උදුරා, ඔබේ අසල්වැසි දාවිත්ට එය දී ඇත. 18ස්වාමින්වහන්සේ අද දවසේ ඔබට මේ දේ කර තියෙන්නේ, ඔබ ස්වාමින්වහන්සේට කීකරු නො වූ නිසා හා අමලෙක්වරුන්ට එරෙහිව වූ උන්වහන්සේගේ බියකරු උදහස ඔබ ක්‍රියාවේ නො යෙදූ නිසයි. 19ස්වාමින්වහන්සේ පිලිස්තිවරුන්ගේ අත්වලට ඉශ්‍රායෙල්වරුනුත්, ඔබත් හසුකර දෙන සේක. හෙට ඔබත් ඔබේ පුතුනුත් මා සමඟ වනු ඇත. ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් හමුදාව ද පිලිස්තිවරුන්ගේ අත්වලට හසුකර දෙනු ඇතැ” යි පැවසී ය.
20සාමුවෙල්ගේ වචන නිසා භයින් පිරී, එකෙණෙහි ම සාවුල් මුළුමනින් බිම පතිත විය. ඔහු තුළ කිසිදු ශක්තියක් නො වී ය. මන්ද ඒ මුළු දවසේත්, රැයේත් ඔහු කිසිවක් අහරට ගෙන නො තිබිණි.
21එකල සාවුල් ළඟට පැමිණි එම ස්ත්‍රිය, ඔහු බොහෝ සේ භයින් කැලඹී සිටිනු දැක, “මේ බලන්න, ඔබේ සේවිකාව වන මා ඔබට කීකරු වුණා. ඔබ කී දේ මා කළේ මගේ ජීවිතය පරදුවට තබලයි. 22දැන් කරුණාකර ඔබේ සේවිකාවට සවන් දෙන්න. ඔබට ඔබේ ගමන යෑමට ශක්තිය ලැබෙන පිණිස, ඔබට කෑමට ආහාර ස්වල්පයක් දෙන්නට මට අවසර ලැබේවා!” යි කීවා ය.
23ඔහු එය ප්‍රතික්ෂේප කරමින්, “මා අහර ගන්නේ නෑ” යි කීවේ ය.
එහෙත් ඔහුගේ මිනිසුන් ද ඒ ස්ත්‍රිය හා එක් ව, බල කර ඉල්ලා සිටි කල, ඔහු ඔවුන්ට සවන් දී, බිමින් නැගිට, කවිච්චියෙහි හිඳ ගත්තේ ය.
24ඒ ස්ත්‍රියට ඇගේ නිවසේ තර කළ වසු පැටවෙක් සිටියේ ය. ඈ වහා ඌ මරා, පිටි ගෙන අනා, මුහුන් රහිත රොටි පිළියෙල කළා ය. 25ඉන්පසු ඈ, ඒවා සාවුල් ද ඔහුගේ මිනිසුන් ද ඉදිරියේ තැබුවා ය. ඔවුහු අනුභව කළහ. ඒ රැයේදී ම ඔවුහු නැගිට, පිටත් ව ගියහ.

දැනට තෝරාගෙන ඇත:

1 සාමුවෙල් 28: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න