1 සාමුවෙල් 28:3-11

1 සාමුවෙල් 28:3-11 SCV

මේ වන විට සාමුවෙල් මියැදී තිබිණ. සියලු ඉශ්‍රායෙල්වරු ඔහු ගැන ශෝක වී, ඔහුගේ නගරය වූ රාමාහි ඔහු භූමදාන කර තිබිණ. මේ අතර සාවුල් ආත්ම බන්ධනකරුවන් සහ පේන කියන්නන් රටින් නෙරපා හැර තිබිණ. පිලිස්තිවරු එක් රැස් වී, පැමිණ, ෂූනෙම්හි කඳවුරු ලා ගත්හ. ඒ අතර, සාවුල් මුළු ඉශ්‍රායෙල් රැස් කරවා, ගිල්බෝවහි කඳවුරු ගැසී ය. සාවුල්, පිලිස්ති හමුදාව දුටු කල, භය විය. ඔහුගේ හද මහ භීතියෙන් වෙළිණි. සාවුල් ස්වාමින්වහන්සේගෙන් විමසුවේ ය. එහෙත් ස්වාමින්වහන්සේ සිහින මගින් හෝ ඌරීම් මගින් හෝ දිවැසිවරුන් මගින් හෝ ඔහුට උත්තර නො දුන් සේක. එවිට සාවුල් තම සේවකයින්ට කතා කොට, “මා ගොස් ඇගෙන් විමසන පිණිස, ආත්ම බන්ධනකාරියක වන ගැහැණියක් සොයන්නැ” යි කීවේ ය. සේවකයෝ පිළිතුරු දෙමින්, “අන්න, ඒන්-දෝර්හි ආත්ම බන්ධනකාරියක් සිටිනවා” යි කීවෝ ය. එවිට සාවුල් වෙස් වළාගෙන, වෙනත් ඇඳුමින් සැරසී, මිනිසුන් දෙදෙනකු සමඟ රැයේ එම ස්ත්‍රිය හමුවීමට ගියේ ය. ඔහු කතා කරමින්, “මා උදෙසා ආත්මයකින් විමසන්න. මා නම් කරන කෙනා කැඳවන්නැ” යි කීවේ ය. එහෙත් එම ස්ත්‍රිය කතා කරමින්, “සාවුල් කර ඇති දෑ ඔබ හොඳින් දනී. ඔහු ආත්ම බන්ධනකරුවන් හා පේන කියන්නන් දේශයෙන් සිඳ දැම්මා. මා මරණයට හසුවන ලෙස, මගේ ජීවිතයට ඔබ උගුල් අටවන්නේ මන්දැ?” යි කීවා ය. සාවුල් ඇයට ස්වාමින්වහන්සේගේ නාමයෙන් දිවුරමින්, “ස්වාමින්වහන්සේ ජීවත් වන්නා සේ ම, මේ සම්බන්ධයෙන් ඔබට දඬුවම් කරනු ලබන්නේ නැතැ” යි කීවේ ය. එවිට ඒ ස්ත්‍රිය ප්‍රශ්න කරමින්, “ඔබට මා කවුරු නැගිටුවා ගෙනෙන්න දැ?” යි ඇසී ය. “මා වෙනුවෙන් සාමුවෙල් නැගිටුවා ගෙනෙන්නැ” යි ඔහු පිළිතුරු දුන්නේ ය.