1 සාමුවෙල් 24:6-13

1 සාමුවෙල් 24:6-13 SCV

එබැවින් තම මිනිසුන් ඇමතූ දාවිත්, “ස්වාමින්වහන්සේගේ අභිෂේක ලද්දා වන මගේ ස්වාමියාට එරෙහිව අත එසවීම වැනි දෙයක් කිරීමෙන්, ස්වාමින්වහන්සේ මා වළකන සේක්වා! මන්ද ඔහු ස්වාමින්වහන්සේගේ ආලේප ලද්දා යැ” යි කීවේ ය. ඒ වචන මගින් තම මිනිසුන්ට තරවටු කළ දාවිත්, සාවුල්ට පහර දීමට ඔවුනට ඉඩ නුදුන්නේ ය. සාවුල් නැගිට, ගුහාවෙන් නික්ම, යන්නට ගියේ ය. ඉන්පසු දාවිත් නැගිට සිට, ගුහාවෙන් පිටතට ගොස්, සාවුල් අමතමින්, “මගේ ස්වාමියා වූ රජ්ජුරුවනි” යි හඬ ගෑය. එවිට සාවුල් පිටුපස හැරී, බැලූ කල, දාවිත් බිමට නැමී, මුහුණ බිමට නමා, ගෞරවාචාර දැක්වී ය. ඉන්පසු සාවුල් ඇමතූ ඔහු, “ ‘අන්න ඔබට අනතුරු කරන්නට දාවිත් බලා සිටී’ කියන මිනිසුන්ට ඔබ මොකට සවන් දෙනවා ද? බලන්න! ගුහාව තුළදී ස්වාමින්වහන්සේ මගේ අතට ඔබ හසුකර දුන් හැටි මේ අද දවසේ ඔබේ ම ඇස්වලින් ඔබ දුටුවා නේද! ඔබ මරා දමන ලෙස ඇතමුන් මට බල කළත්, මම ඔබ බේරුවෙමි. මා කියා සිටියේ, ‘මගේ ස්වාමියා ස්වාමින්වහන්සේගේ ආලේප ලද්දා වන බැවින් ඔහුට විරුද්ධ ව මා මගේ අත ඔසවන්නේ නැත’ කියායි. මෙන්න! මා පියාණෙනි, බලන්න, ඔබේ පිට කබායේ කැබැල්ලක් මා අතේ තිබෙන හැටි! ඔබේ කබායේ කොනක් මා කපා ගත් නමුත්, මා ඔබ මැරුවේ නැහැ. එබැවින් මගේ අතේ වරදක් හෝ කැරලි ගැසීමක් නැති වග බලා දැනගන්න. මා ඔබට වරදක් කළේ නෑ. එහෙත් ඔබ මගේ දිවි තොර කිරීමට මා ලුහුබඳිනවා. ස්වාමින්වහන්සේ ඔබත්, මාත් අතර විනිශ්චය කරන සේක්වා! ස්වාමින්වහන්සේ මා වෙනුවෙන් ඔබගෙන් පළිගන්න සේක්වා! එහෙත් මගේ අත ඔබට එරෙහිව නො යේ. පැරණි කියමනකින් කියැවෙන පරිදි ‘දුෂ්ටයන්ගෙන් දුෂ්ටකම නික්මෙයි.’ මගේ අත නම් ඔබට එරෙහි වන්නේ නැහැ.

මෙයට අදාළ වීඩියෝ

1 සාමුවෙල් 24:6-13 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය