1 සාමුවෙල් 2

2
හන්නාගේ ස්තුති ගීය
1ඉන්පසු හන්නා යාච්ඤා කරමින්, මෙසේ කියන්නට වන්නී ය:
“මගේ හද, ස්වාමින්වහන්සේ තුළ ප්‍රීතියෙන් කුල්මත් වෙයි;
මගේ අඟ#2:1 අඟ එනම් ශක්තිය 10 වෙනි පදය ද එසේ ම ය. ස්වාමින්වහන්සේ තුළ ඔසවනු ලැබ ඇත.
මගේ මුව, මගේ සතුරන් හමුවේ උදාරම් වෙයි;
මන්ද මම, ඔබේ ගැලවීම ගැන සොම්නස් වන්නෙමි.
2ස්වාමින්වහන්සේ බඳු ශුද්ධ කෙනකු තවත් නැත;
ඔබවහන්සේ හැර වෙනත් කෙනකු නැත;
අපේ දෙවියන්වහන්සේ බඳු පර්වතයක් තවත් නැත.
3“ඔතරම් අහංකාර ලෙස තවත් කතා නො කරන්න;
ඔබේ මුවින් උඩඟුව නික්මෙන්නට ඉඩ නො දෙන්න;
මන්ද ස්වාමින්වහන්සේ සියල්ල දන්නා දෙවියන්වහන්සේ ය;
උන්වහන්සේ විසින් ක්‍රියා තුලනය කරනු ලබන්නේ ය.
4“ප්‍රබලයින්ගේ දුනු, බිඳිනු ලැබ ඇත;
එහෙත් දුබලයෝ ශක්තියෙන් පලඳවනු ලබති.
5සෑහී, පිරී සිටි අය, අහර පිණිස කුලී වැඩට තමන් ම ඉදිරිපත් වෙති;
එහෙත් සාගින්නෙන් සිටි අයට තවත් සාගිනි නො වේ.
වඳ ව සිටි ඇත්තී, සත් දෙනකු බිහි කළා ය;
එහෙත් දරු කැළක් සිටි ඇත්තී, අනාථ ව සිටින්නී ය.
6ස්වාමින්වහන්සේ මරන සේක; ජීවනයට ගෙනෙන සේක;
උන්වහන්සේ ෂෙයෝලයට#2:6 පාතාලයට හෙවත් මළවුන්ගේ ස්ථානයට බස්සන සේක. ඉහළට ඔසවන සේක.
7 ස්වාමින්වහන්සේ දුප්පත්කම එවන සේක; ධනවත් කරවන සේක;
උන්වහන්සේ යටහත් කරන සේක; උසස් කරන සේක.
8උන්වහන්සේ දූලියෙන් දුප්පතා නැගිටුවන සේක;
අළු ගොඩින් දිළිඳා ඔසවන සේක;
එසේ කරන්නේ උන්වහන්සේ අධිපතීන් සමඟ එකට ඔවුන් හිඳුවන පිණිස හා
ගෞරවයේ අසුනක උරුමය ඔවුන් ලබනු පිණිස ය.
“මන්ද පොළොවේ පදනම් කණු ස්වාමින්වහන්සේගේ ය;
උන්වහන්සේ ලෝකය පිහිටුවා ඇත්තේ ඒවා මත ය.
9තම ශුද්ධවතුන්ගේ පාද, උන්වහන්සේ සුරකින සේක;
එහෙත් දුෂ්ටයෝ අඳුරෙහි නිහඬ කරනු ලබති.
“මනුෂ්‍යයකු ජය ගන්නේ තමාගේ ම ශක්තියෙන් නො වේ.
10 ස්වාමින්වහන්සේට එදිරි වන්නන් සිඳ-බිඳ දැමේ.
ස්වර්ගයේ සිට උන්වහන්සේ ඔවුන්ට එරෙහිව ගර්ජනා කරන්නාහ;
ස්වාමින්වහන්සේ පොළෝ සීමාන්තය දක්වා විනිශ්චය කරන සේක.
“උන්වහන්සේ තම රජුට ශක්තිය දෙන සේක;
ස්වකීය ආලේප ලද්දාණන්ගේ අඟ, උසස් කරන්නාහ.”
11ඉන්පසු එල්කානා, රාමාහි ගෙදර ගියේ ය. එහෙත් ළමයා පූජක ඒලී ඉදිරියේ ස්වාමින්වහන්සේට මෙහෙවර කළේ ය.
ඒලීගේ පුත්‍රයෝ
12ඒලීගේ පුත්‍රයෝ කමකට නැතිවූවන් වූහ. ඔවුහු ස්වාමින්වහන්සේට සැලකිල්ලක් නො දැක්වූහ. 13ජනයා සමඟ ක්‍රියා කිරීමේදී මෙබඳු සිරිතක් පූජකයින් අතරේ විය. යමකු යාග පූජාවක් ඔප්පු කළ විටෙක පූජා මස තැම්බෙමින් තිබියදී, පූජකයින්ගේ මෙහෙකරුවා දැති තුනක් සහිත මස්-කොක්කක් අතින් ගෙන එයි. 14අවුත්, හට්ටියේ හෝ භාජනයේ හෝ කල්දේරමේ හෝ සැලියේ එය ඔබයි. මෙසේ කොක්කේ ඇමිනී එන සියල්ල පූජකයා තම ප්‍රයෝජනයට ගනියි. ෂීලෝ වෙත එන ඉශ්‍රායෙල්වරුන් සියල්ලනට ඔවුන් කළේ එයයි. 15එපමණක් ද නො වේ; යුතු පරිදි මේදය දවාලන්නටත් කලින් පැමිණෙන පූජකයාගේ මෙහෙකරු, යාග පූජාවෙහි නියැළී සිටින්නාට කතා කොට, “පූජකතුමාට බදින්නට මස් දෙන්න; අමු මස් පමණක් මිස, තැම්බූ මස් ඔහු ඔබගෙන් බාරගන්නේ නැතැ” යි කියයි.
16එවිට ඒ මිනිසා පිළිතුරු දෙමින්, “පළමු කොට මේදය දැවෙන්නට හරින්න; ඉන්පසු ඔබ කැමති තරමක් ගන්නැ” යි කීවොත්, මෙහෙකරුවා, “නැහැ! දැන් ම ඒවා දෙනු; නුදුන්නොත් බලහත්කාරයෙන් මා ගන්නවා” යි කියයි.
17මෙම තරුණයින්ගේ පාපය, ස්වාමින්වහන්සේ හමුවේ ඉතා බරපතළ විය. මන්ද ඔවුන් ස්වාමින්වහන්සේගේ පඬුරු පූජාව, නිග්‍රහ සහගත ව සැලකූ බැවිනි.
18එහෙත්, හණ ඒපොද් සැට්ටයක් හැඳ සිටි කොලුවකු වූ සාමුවෙල් ස්වාමින්වහන්සේ ඉදිරියේ මෙහෙ කළේ ය. 19ඔහුගේ මව, ඇගේ සැමියා සමඟ වාර්ෂික යාග පූජා ඔප්පු කිරීමට යන කල, වසරක් පාසා ඔහුට කුඩා කබායක් මසා, ගෙන ගොස් දුන්නා ය. 20එවිට එල්කානාට හා ඔහුගේ බිරිඳට ආශිර්වාද කරන ඒලී, “මැය යාච්ඤාවෙන් ඉල්ලා ස්වාමින්වහන්සේට දුන් තැනැත්තාගේ තැන ගන්නට මේ කාන්තාවගෙන් ස්වාමින්වහන්සේ ඔබට දරුවන් ලබා දෙන සේක්වා!” යි කියයි. ඉන්පසු ඔවුහු ගෙදර යති. 21හන්නාට එසේ ස්වාමින්වහන්සේ කරුණා පෑ සේක. ඈ ගැබ් දරා, පුතුන් තිදෙනකු ද දියණියන් දෙදෙනකු ද බිහි කළා ය. ළමා සාමුවෙල් මේ අතර ස්වාමින්වහන්සේ ඉදිරියෙහි වැඩුණේ ය.
22ඒලී මෙකල ඉතා මහලු ව සිටියේ ය. සියලු ඉශ්‍රායෙල් ජනයාට තම පුතුන් කරන සියලු දෑ ගැන ද හමුවීමේ කූඩාරම් පිවිසුමේ සේවය කරන ස්ත්‍රීන් සමඟ ඔවුන් සයනය කරන වග ද ඔහුට අසන්නට ලැබුණේ ය. 23එබැවින් ඔහු ඔවුන්ට කතා කර, “නුඹලා මෙවැනි දෑ කරන්නේ ඇයි? නුඹලාගේ දුෂ්ට ක්‍රියා ගැන මේ හැම දෙනාගෙන් ම මට අසන්නට ලැබෙනවා. 24නැහැ මගේ පුතුනි, ස්වාමින්වහන්සේගේ ජනයා අතරේ පැතිර යතැයි මට අසන්නට ලැබෙන්නේ හොඳ ආරංචි නො වේ. 25කෙනෙක් මිනිසකුට එරෙහිව පව් කළොත්, දෙවියන්වහන්සේ ඔහු උදෙසා මැදිහත් වනු ඇත. එහෙත් ස්වාමින්වහන්සේට එරෙහිව පව් කරන කෙනකු උදෙසා මැදිහත් වන්නේ කවුරුන් දැ?” යි කීවේ ය. එහෙත් ඔහුගේ පුතුන් තම පියාගේ කටහඬට සවන් දුන්නේ නැත. මන්ද ස්වාමින්වහන්සේගේ කැමැත්ත ව තිබුණේ ඔවුන් නසා දමන්නට ය.
26මේ අතර යොවුන් සාමුවෙල් උස මහතින් ද ස්වාමින්වහන්සේ සමඟ මෙන් ම මනුෂ්‍යයන් සමඟ ප්‍රසාදයෙහි ද වැඩුණේ ය.
ඒලීගේ වංශයට එරෙහි අනාගතවාක්‍ය
27දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් ඒලී වෙත අවුත්, ඔහු අමතමින්, “ස්වාමින්වහන්සේ මෙසේ පවසා ඇත; නුඹේ පියාගේ වංශය, පාරාවෝ පරපුර යටතේ ඊජිප්තුවේ සිටියදී, මම පැහැදිලි ව ඔවුන්ට එළිදරවු නො වුණෙම් ද? 28මගේ පූජකයා වන පිණිස, මගේ පූජාසනය වෙත ළඟා වන පිණිස, සුවඳ ධූම ද්‍රව්‍ය දවන පිණිස, මා ඉදිරියේ ඒපොද් සැට්ටය ඇඳගන්නා පිණිස, සියලු ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශ අතරින් මම නුඹේ පියා තෝරා ගතිමි. ඉශ්‍රායෙල්වරුන් ගින්නේ දවා ඔප්පු කරන සියලු පූජා ද මම නුඹේ පියවංශයට දුන්නෙමි. 29මගේ වාසස්ථානය සඳහා මවිසින් නියම කරන ලද මගේ යාග පූජා හා මගේ පූජාවලට නුඹලා නිගා කරන්නේ ඇයි? මගේ ඉශ්‍රායෙල් ජනයා පූජා කරන හැම පූජාවක හොඳ ම කොටස්වලින් නුඹලා ම තරකර ගනිමින්, නුඹ මටත් වඩා වැඩියෙන් නුඹගේ පුත්‍රයින්ට ගෞරව කරන්නේ මන්ද?
30“එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කරන සේක: ‘නුඹේ වංශයත්, නුඹේ පියාගේ වංශයත් මා ඉදිරියේ සදහට ම සේවය කරනු ඇතැ’ යි මම ඉහතදී පොරොන්දු වුණෙමි. එහෙත් දැන් ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කරන සේක: තවදුරටත් එසේ නො වනු ඇත. මට ගෞරව කරන්නන්ට මම ගෞරව කරමි; මට ගර්හා කරන්නන් මම නීච කොට සලකමි. 31ඔන්න! නුඹේ ශක්තිය ද නුඹේ පියවංශයේ ශක්තිය ද මවිසින් සිඳ දමන දවස් පැමිණෙන්නේ ය. එසේ කරන්නේ නුඹේ පෙළපතේ මහලු මනුෂ්‍යයෙක් තවත් නො සිටින පිණිස ය. 32ඉශ්‍රායෙල්ට මා යහපත කරන අතරේ මගේ වාසස්ථානයේ විපත ඇති බව නුඹ දකිනු ඇත. නුඹේ පෙළපතෙහි මහලු මිනිසකු යළි කිසි දින නො සිටිනු ඇත. 33මගේ පූජාසනය වෙතින් මා විසින් සිඳ දමනු නො ලබන අය එසේ ඉතිරි වන්නේ නුඹේ ඇස් කඳුළින් අන්ධ කරන්නටත්, නුඹේ හදවත සෝ තැවුලින් පුර වන්නටත් පමණි. නුඹෙන් පැවත එන සැවොම මැදි වයසේදී කඩුවෙන් මැරී යනු ඇත.
34“ ‘නුඹේ පුතුන් දෙදෙනා වන හොෆ්නීට හා පීනෙහාස්ට සිදුවන දේ නුඹට ලකුණක් වෙයි. ඔවුන් දෙදෙන එක ම දවසක නැසෙනු ඇත. 35මගේ හදවතටත්, මගේ මනසටත් අනුකූලව ක්‍රියා කරන විශ්වාසවන්ත පූජකයකු මම නැගිටුවා ගන්නෙමි. මම ඔහුට නිසැක වංශයක් ගොඩ නගා දෙන්නෙමි. ඔහු මගේ ආලේප ලද්දාණන් ඉදිරියෙහි හැම විට සේවය කරනු ඇත. 36එවිට නුඹේ පවුලේ ඉතිරි ව සිටින හැම කෙනකු ම රිදී කාසියක් සඳහාත්, රොටි කැබැල්ලක් සඳහාත් ඔහු ඉදිරියේ වැඳ වැටී කන්නලව් කරමින්, “අනේ පූජක නිලයේ යම් කාරියකට මා පත් කර ගන්න. එවිට මටත් කෑමට රොටි කැබැල්ලක් ලැබෙනු ඇතැ” යි කියනු ඇතැ’ යි” පැවසී ය.

දැනට තෝරාගෙන ඇත:

1 සාමුවෙල් 2: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න