1 සාමුවෙල් 2:28-30

1 සාමුවෙල් 2:28-30 SCV

මගේ පූජකයා වන පිණිස, මගේ පූජාසනය වෙත ළඟා වන පිණිස, සුවඳ ධූම ද්‍රව්‍ය දවන පිණිස, මා ඉදිරියේ ඒපොද් සැට්ටය ඇඳගන්නා පිණිස, සියලු ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශ අතරින් මම නුඹේ පියා තෝරා ගතිමි. ඉශ්‍රායෙල්වරුන් ගින්නේ දවා ඔප්පු කරන සියලු පූජා ද මම නුඹේ පියවංශයට දුන්නෙමි. මගේ වාසස්ථානය සඳහා මවිසින් නියම කරන ලද මගේ යාග පූජා හා මගේ පූජාවලට නුඹලා නිගා කරන්නේ ඇයි? මගේ ඉශ්‍රායෙල් ජනයා පූජා කරන හැම පූජාවක හොඳ ම කොටස්වලින් නුඹලා ම තරකර ගනිමින්, නුඹ මටත් වඩා වැඩියෙන් නුඹගේ පුත්‍රයින්ට ගෞරව කරන්නේ මන්ද? “එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කරන සේක: ‘නුඹේ වංශයත්, නුඹේ පියාගේ වංශයත් මා ඉදිරියේ සදහට ම සේවය කරනු ඇතැ’ යි මම ඉහතදී පොරොන්දු වුණෙමි. එහෙත් දැන් ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කරන සේක: තවදුරටත් එසේ නො වනු ඇත. මට ගෞරව කරන්නන්ට මම ගෞරව කරමි; මට ගර්හා කරන්නන් මම නීච කොට සලකමි.