1 සාමුවෙල් 2:1-11

1 සාමුවෙල් 2:1-11 SCV

ඉන්පසු හන්නා යාච්ඤා කරමින්, මෙසේ කියන්නට වන්නී ය: “මගේ හද, ස්වාමින්වහන්සේ තුළ ප්‍රීතියෙන් කුල්මත් වෙයි; මගේ අඟ ස්වාමින්වහන්සේ තුළ ඔසවනු ලැබ ඇත. මගේ මුව, මගේ සතුරන් හමුවේ උදාරම් වෙයි; මන්ද මම, ඔබේ ගැලවීම ගැන සොම්නස් වන්නෙමි. “ස්වාමින්වහන්සේ බඳු ශුද්ධ කෙනකු තවත් නැත; ඔබවහන්සේ හැර වෙනත් කෙනකු නැත; අපේ දෙවියන්වහන්සේ බඳු පර්වතයක් තවත් නැත. “ඔතරම් අහංකාර ලෙස තවත් කතා නො කරන්න; ඔබේ මුවින් උඩඟුව නික්මෙන්නට ඉඩ නො දෙන්න; මන්ද ස්වාමින්වහන්සේ සියල්ල දන්නා දෙවියන්වහන්සේ ය; උන්වහන්සේ විසින් ක්‍රියා තුලනය කරනු ලබන්නේ ය. “ප්‍රබලයින්ගේ දුනු, බිඳිනු ලැබ ඇත; එහෙත් දුබලයෝ ශක්තියෙන් පලඳවනු ලබති. සෑහී, පිරී සිටි අය, අහර පිණිස කුලී වැඩට තමන් ම ඉදිරිපත් වෙති; එහෙත් සාගින්නෙන් සිටි අයට තවත් සාගිනි නො වේ. වඳ ව සිටි ඇත්තී, සත් දෙනකු බිහි කළා ය; එහෙත් දරු කැළක් සිටි ඇත්තී, අනාථ ව සිටින්නී ය. “ස්වාමින්වහන්සේ මරන සේක; ජීවනයට ගෙනෙන සේක; උන්වහන්සේ ෂෙයෝලයට බස්සන සේක. ඉහළට ඔසවන සේක. ස්වාමින්වහන්සේ දුප්පත්කම එවන සේක; ධනවත් කරවන සේක; උන්වහන්සේ යටහත් කරන සේක; උසස් කරන සේක. උන්වහන්සේ දූලියෙන් දුප්පතා නැගිටුවන සේක; අළු ගොඩින් දිළිඳා ඔසවන සේක; එසේ කරන්නේ උන්වහන්සේ අධිපතීන් සමඟ එකට ඔවුන් හිඳුවන පිණිස හා ගෞරවයේ අසුනක උරුමය ඔවුන් ලබනු පිණිස ය. “මන්ද පොළොවේ පදනම් කණු ස්වාමින්වහන්සේගේ ය; උන්වහන්සේ ලෝකය පිහිටුවා ඇත්තේ ඒවා මත ය. තම ශුද්ධවතුන්ගේ පාද, උන්වහන්සේ සුරකින සේක; එහෙත් දුෂ්ටයෝ අඳුරෙහි නිහඬ කරනු ලබති. “මනුෂ්‍යයකු ජය ගන්නේ තමාගේ ම ශක්තියෙන් නො වේ. ස්වාමින්වහන්සේට එදිරි වන්නන් සිඳ-බිඳ දැමේ. ස්වර්ගයේ සිට උන්වහන්සේ ඔවුන්ට එරෙහිව ගර්ජනා කරන්නාහ; ස්වාමින්වහන්සේ පොළෝ සීමාන්තය දක්වා විනිශ්චය කරන සේක. “උන්වහන්සේ තම රජුට ශක්තිය දෙන සේක; ස්වකීය ආලේප ලද්දාණන්ගේ අඟ, උසස් කරන්නාහ.” ඉන්පසු එල්කානා, රාමාහි ගෙදර ගියේ ය. එහෙත් ළමයා පූජක ඒලී ඉදිරියේ ස්වාමින්වහන්සේට මෙහෙවර කළේ ය.

මෙයට අදාළ වීඩියෝ

1 සාමුවෙල් 2:1-11 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය