1 සාමුවෙල් 17:20-27

1 සාමුවෙල් 17:20-27 SCV

අරුණ උදෙන් ම පිබිදි දාවිත්, බැටළුවන් සමඟ එඬේරකු නවතා, යෙස්සේ ඔහුට අණ කර තිබූ පරිදි, ඒ, ඒ දෑ ගෙන, පිටත් විය. ඔහු කඳවුරට ළඟා වෙද්දී, සේනාව රණ-ගොස නගමින්, සටනට සැරසී, පිටතට එමින් සිටියහ. ඉශ්‍රායෙල්වරු හා පිලිස්තිවරු හමුදාවකට එරෙහිව හමුදාවක් වශයෙන් සටනට පෙළ ගැසෙමින් සිටියහ. තමා ගෙනා දෑ ගබඩාකරු ළඟ තැබූ දාවිත්, සේනාංක පෙළ වෙත දුව ගොස්, තම සහෝදරයින්ට සුබ පැතී ය. ඔහු ඔවුන් හා කතා කරමින් සිටියදී, මෙන්න! ගාත්හි ගොලියත් නම් වූ පිලිස්තීය රණශූරයා තම සේනාංකයෙන් පෙරට අවුත්, සුපුරුදු අභියෝග වචන පවසමින්! දාවිත්ට එය ඇසිණි. ඉශ්‍රායෙල් සියල්ලෝ ඒ මිනිසා දුටු කල, මහත් භයින්, ඔහු වෙතින් පැන දිවූහ. ඉශ්‍රායෙල් මිනිස්සු මෙසේ කියන්නට වන්හ. “පෙරට එන අර මිනිහා දුටුවා ද? ඉශ්‍රායෙල්වරුන්ට තර්ජනය කරන්නටයි ඔහු එන්නේ. ඔහු මරා දමන තැනැත්තාට රජතුමා ධන සම්භාරයක් දී, තම දියණිය ඔහුට විවාහ කර දෙනු ඇත. ඔහුගේ පියාගේ පවුල ඉශ්‍රායෙල්හි නිදහස් කරනු ඇතැ” යි පැවසූහ. තමා අසල සිටි මිනිසුන් ඇමතූ දාවිත්, “මේ පිලිස්තීයයා මරා, ඉශ්‍රායෙල් වෙතින් මේ නිගරුව පහ කරන මිනිසාට කුමක් කෙරේ ද? ජීවමාන දෙවියන්වහන්සේගේ හමුදාවන්ට අභියෝග කරන්නට තරම් මේ චර්ම-අඡේදිත පිලිස්තීයයා කවරෙක් දැ?” යි විමසී ය. ජනයා පිළිතුරු දෙමින්, “ඔහු මරා දමන මිනිසාට මෙසේ කරනු ලැබේ ය” කියමින් කලින් පැවසූ වචන යළි පැවසූහ.