1 සාමුවෙල් 15:24-31

1 සාමුවෙල් 15:24-31 SCV

එවිට සාමුවෙල් ඇමතූ සාවුල්, “මා පව් කළා. ස්වාමින්වහන්සේගේ ආඥාවත්, ඔබේ වචනත් මා කඩ කළා. ජනතාවට බියෙන්, මා ඔවුන්ගේ කැමැත්තට ඉඩ දුන්නා. එබැවින් දැන් මගේ පාපයට කමා වී, ස්වාමින්වහන්සේට නමස්කාර කිරීමට මට හැකි වන පිණිස, මා සමඟ ආපසු එන ලෙසට උදක් ම ඉල්ලා සිටිනවා” යි කීවේ ය. එහෙත් සාමුවෙල්, සාවුල්ට කතා කරමින්, “මා ඔබ සමඟ ආපසු යන්නේ නෑ. ඔබ, ස්වාමින්වහන්සේගේ වචනය ප්‍රතික්ෂේප කර ඇත. ඉශ්‍රායෙල් කෙරෙහි රජකමින් ස්වාමින්වහන්සේ ඔබ ප්‍රතික්ෂේප කර ඇතැ” යි පැවසී ය. සාමුවෙල් ඉවත් ව යන්නට හැරෙද්දී, සාවුල් ඔහුගේ ලෝගුවේ වාටියෙන් අල්ලා ගත්තේ ය. එවිට එය ඉරී ගියේ ය. එවිට සාමුවෙල් ඔහු අමතමින්, “ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් රාජ්‍යය අද දවසේ ඔබගෙන් ඉරා, ඔබේ අසල්වැසියකුට, ඔබට වඩා හොඳ කෙනකුට දී ඇත. ඉශ්‍රායෙල්හි තේජෝමහිමයාණෝ බොරු නො කියන සේක; ස්වකීය අදහස ගැන නො තැවෙන සේක. මන්ද තැවෙන්නට උන්වහන්සේ මිනිසකු නො වේ යැ” යි පැවසී ය. සාවුල් කතා කරමින්, “මම පව් කළෙමි. එහෙත් කරුණාකර මගේ ජනයාගේ වැඩිහිටියන් ඉදිරියේත්, ඉශ්‍රායෙල්වරුන් ඉදිරියේත් මට ගෞරවය දෙන්න. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට නමස්කාර කිරීමට, මට හැකි වන පිණිස, මා සමඟ ආපසු යෑමට එන්නැ” යි ඉල්ලී ය. එබැවින් සාමුවෙල්, ආපසු හැරී සාවුල් සමඟ ගියේ ය. සාවුල් ස්වාමින්වහන්සේට නමස්කාර කළේ ය.