1 සාමුවෙල් 13:1-9
1 සාමුවෙල් 13:1-9 SCV
සාවුල් රජකමට පත් වන විට තිස් අවුරුදු වයස් විය. ඔහු වසර හතළිස් දෙකක් ඉශ්රායෙල්හි රජකම් කළේ ය. සාවුල් ඉශ්රායෙල්වරුන් අතරින් මිනිසුන් තුන්දහසක් තෝරා ගත්තේ ය. එයින් දෙදහසක් මික්මාස්හි ද බෙතෙල් කඳු රටෙහි ද සාවුල් සමඟ සිටියහ. එක් දහසක් යොනාතාන් සමඟ බෙන්යමින් පෙදෙසේ ගිබෙයාහි වූහ. ඔහු සෙසු ජනයා ඔවුනොවුන්ගේ ගෙවලට ආපසු යැව්වේ ය. යොනාතාන් ගෙබාහි පිලිස්ති මුරපොළ පැරදවී ය. පිලිස්තිවරුනට එය අසන්නට ලැබිණ. එවිට සාවුල්, “හෙබ්රෙව්වනි අසත්වා!” කියමින් මුළු දේශය පුරා හොරණෑ හැඬවී ය. සාවුල් පිලිස්ති මුර පොළට පහර දී ඇති වගත්, දැන් ඉශ්රායෙල්වරුන් පිලිස්තිවරුනට පිළිකුලක් ව ඇති වගත් මුළු ඉශ්රායෙල් ජනතාවට ම අසන්නට ලැබිණ. ගිල්ගාල්හි දී සාවුල් සමඟ එක් වන ලෙසට ජනයා කැඳවන ලදහ. පිලිස්තිවරු යුද්ධ රථ තිස්දහසක් ද අසරුවන් හයදහසක් ද මුහුදු වෙරළේ වැලි මෙන් ගණන් කළ නො හැකි තරමේ සේනාවක් සමඟ ඉශ්රායෙල්වරුන්ට එරෙහිව සටනට එක් රැස් වූහ. ඔවුහු අවුත්, බෙත්-ආවෙන්ට නැගෙනහිරින් මික්මාස්හි කඳවුරු බැන්දහ. ඉශ්රායෙල්වරු තමන්ගේ තත්වය අවදානම් වගත්, තම හමුදාව අසීරුවට පත් ව ඇති වගත් දුටු කල, ගුහා තුළත්, කුහර තුළත්, පර්වත අතරේත්, පතල්වල හා පාළු ළිංවල ද සැඟවුණහ. ඇතැම් හෙබ්රෙව්වෝ ගාද් දේශයටත්, ගිලියාද් දේශයටත් යොර්දාන් ගඟින් එතෙර ව ගියහ. එහෙත් සාවුල්, ගිල්ගාල්හි රැඳී සිටියේ ය. ඔහු සමඟ වූ මුළු සෙබළ පිරිස භයින් වෙවුලූහ. සාමුවෙල් නියම කළ කාලය වන හත් දවසක් සාවුල් බලා සිටියේ ය. එහෙත් සාමුවෙල් ගිල්ගාල් වෙත ආවේ නැත. මිනිස්සු ඔහු වෙතින් විසිර යන්නට වන්හ. එබැවින් සාවුල්, “දවන යාග පූජාවත්, ශාන්ති පූජාවත් මෙහි මා ළඟට ගෙනෙන්නැ” යි කීවේ ය. මෙසේ සාවුල් දවන යාග පූජාව ඔප්පු කළේ ය.

