1 පේතෘස් 4
4
දෙවියන්වහන්සේ උදෙසා ජීවත් වීම
1එබැවින්, ක්‍රිස්තුස්වහන්සේ මාංසයෙන් වධ විඳි බැවින්, ඔබත් එම ආකල්පයෙන් සන්නද්ධ වන්න. මන්ද මාංසයෙන් වධ විඳි තැනැත්තා පාපයෙන් නිදහස් ව සිටී. 2එවිට ඔහු මාංසයේ ජීවත් වන ඉතිරි කාලය මිනිස් තෘෂ්ණා සඳහා නො ව, දෙවියන්වහන්සේගේ කැමැත්ත උදෙසා ජීවත් වෙයි. 3මන්ද අන්‍ය-ජාතීන් කැමැත්තෙන් තෝරා ගන්නා ඉන්ද්‍රියයන් පිනවීම, තෘෂ්ණාව, බේබදුකම, මධු-සාද, සුරාපාන උත්සව හා පිළිකුල් පිළිම රූප වන්දනාව යන දෑහි යෙදෙමින් ඔබත් ඇති තරම් කලක් ජීවත් වී ඇත. 4තවදුරටත් ඔබ ඔවුන් සමඟ ඒ අනර්ථකාරී දුරාචාර ප්‍රවාහයේ නො ගිලෙන්නේ මන්දැයි ඔවුහු පුදුම ව, ඔබට අපවාද නගති. 5එහෙත් ජීවතුන් ද මළවුන් ද විනිශ්චය කිරීමට සූදානම් තැනැන්වහන්සේට ගණන් දීමට ඔවුනට සිදු වෙයි. 6මළවුන්ට පවා ශුභාරංචිය දේශනා කරන ලද්දේ මේ හේතුව නිසා ය; එනම්, මිනිසුන්ගේ කැමැත්තට අනුව මාංසාකාරයෙන් විනිශ්චය කරනු ලැබුව ද, ආත්මික ව ඔවුන් දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස ජීවත් වන පිණිස ය.
7සියල්ලේ අවසානය ළං ව ඇත. එබැවින් ඔබ යාච්ඤාවේ යෙදෙන පිණිස ආත්ම සංයමයෙන් හා පැහැදිලි මනසින් යුතු වන්න. 8ප්‍රේමය පව් රාශියක් වසා දමන බැවින්, හැම දේට ම වඩා ලැදිව එකිනෙකාට ප්‍රේම කරන්න. 9මැසිවිල්ලෙන් තොර ව, එකිනෙකාට ආගන්තුක සත්කාර කරන්න. 10දෙවියන්වහන්සේගේ අනේකාකාර අනුග්‍රහයේ විශ්වසනීය කළමනාකරුවන් ලෙස එකිනෙකාට ලැබී ඇති දීමනාව කවරක් වුව ද, එය අන්‍යයන්ට සේවය කිරීමට යොදවන්න. 11යමෙක් වචනය කතා කරන්නේ නම්, ඔහු දෙවියන්වහන්සේගේ වචන කතා කරන්නකු ලෙස එය කළ යුතු ය. යමෙක් සේවය කරන්නේ නම්, දෙවියන්වහන්සේ සපයන ශක්තියෙන් ඔහු එය කළ යුතු ය. එසේ කළ යුත්තේ, හැම දේහි දී ම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් දෙවියන්වහන්සේ තේජෝමහිමයට පැමිණෙන පිණිස ය. තේජෝ මහිමයත්, ආධිපත්‍යයත් සදහට ම උන්වහන්සේගේ ය! ආමෙන්.
දුක් පීඩා හා කිතුනු නාමය
12ප්‍රේමණීයයනි, ඔබ පරීක්ෂා කරන්නට දැවෙන පරීක්ෂා ඔබ පිට පැමිණි කල, ඔබට මහ අමුතු දෙයක් සිදු වෙතැයි විස්මිත නො වන්න; 13උන්වහන්සේගේ තේජෝ මහිමය එළිදරවු වන කල ඔබත් ප්‍රීති වන, ප්‍රමෝද වන පිණිස, ක්‍රිස්තුස්වහන්සේගේ දුක් විඳීමට ඔබත් පංගුකාර වන තරමට ප්‍රීති වන්න. 14ක්‍රිස්තුස්වහන්සේගේ නාමය නිසා ඔබ නින්දාවට පත් වේ නම්, ඔබ භාග්‍යවත් ය. මන්ද තේජසේ ද දෙවියන්වහන්සේගේ ද ආත්මයාණෝ, ඔබ මත නැවතී සිටින සේක. 15එහෙත් ඔබ කිසිවකු මිනී මරුවකු, සොරකු, අපරාධකරුවකු හෝ අනුන්ගේ කාරණාවලට ඇඟිලි ගසන්නකු ලෙස පීඩා විඳින්නකු නො වෙත්වා; 16කෙසේ වෙතත් ඔබ පීඩා විඳින්නේ ක්‍රිස්තියානිකාරයකු වශයෙන් නම්, ඒ ගැන ලජ්ජා නො වන්න. ඔබ දරන ඒ නාමය ගැන දෙවියන්වහන්සේට ගෞරව දෙන්න. 17මන්ද දෙවියන්වහන්සේගේ ගෘහ වාසීන්ගෙන් විනිශ්චය පටන් ගැන්මේ කාලය එළැඹ තිබේ. එය ඇරඹෙනුයේ අප වෙතින් නම් දෙවියන්වහන්සේගේ ශුභාරංචියට අකීකරුවූවන්ට කෙබඳු විපාකයක් අත් වේ ද? 18තවද,
“ධර්මිෂ්ඨයින් ගැලවෙන්නේ අසීරුවෙන් වේ නම්,
අභක්තිකයන්ට හා පව්කරුවන්ට එය කෙසේ වනු ඇද්ද?”#4:18 හිතෝප 11;31
19එබැවින්, දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුව පීඩා විඳින අය, යහ වැඩ කිරීමේ නියැළෙමින්, තමන්ගේ විශ්වාසී මැවුම්කරුවාණන්ට තමන් ම බාර විය යුතු ය.
දැනට තෝරාගෙන ඇත:
1 පේතෘස් 4: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.