1 පේතෘස් 4:3-11

1 පේතෘස් 4:3-11 SCV

මන්ද අන්‍ය-ජාතීන් කැමැත්තෙන් තෝරා ගන්නා ඉන්ද්‍රියයන් පිනවීම, තෘෂ්ණාව, බේබදුකම, මධු-සාද, සුරාපාන උත්සව හා පිළිකුල් පිළිම රූප වන්දනාව යන දෑහි යෙදෙමින් ඔබත් ඇති තරම් කලක් ජීවත් වී ඇත. තවදුරටත් ඔබ ඔවුන් සමඟ ඒ අනර්ථකාරී දුරාචාර ප්‍රවාහයේ නො ගිලෙන්නේ මන්දැයි ඔවුහු පුදුම ව, ඔබට අපවාද නගති. එහෙත් ජීවතුන් ද මළවුන් ද විනිශ්චය කිරීමට සූදානම් තැනැන්වහන්සේට ගණන් දීමට ඔවුනට සිදු වෙයි. මළවුන්ට පවා ශුභාරංචිය දේශනා කරන ලද්දේ මේ හේතුව නිසා ය; එනම්, මිනිසුන්ගේ කැමැත්තට අනුව මාංසාකාරයෙන් විනිශ්චය කරනු ලැබුව ද, ආත්මික ව ඔවුන් දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස ජීවත් වන පිණිස ය. සියල්ලේ අවසානය ළං ව ඇත. එබැවින් ඔබ යාච්ඤාවේ යෙදෙන පිණිස ආත්ම සංයමයෙන් හා පැහැදිලි මනසින් යුතු වන්න. ප්‍රේමය පව් රාශියක් වසා දමන බැවින්, හැම දේට ම වඩා ලැදිව එකිනෙකාට ප්‍රේම කරන්න. මැසිවිල්ලෙන් තොර ව, එකිනෙකාට ආගන්තුක සත්කාර කරන්න. දෙවියන්වහන්සේගේ අනේකාකාර අනුග්‍රහයේ විශ්වසනීය කළමනාකරුවන් ලෙස එකිනෙකාට ලැබී ඇති දීමනාව කවරක් වුව ද, එය අන්‍යයන්ට සේවය කිරීමට යොදවන්න. යමෙක් වචනය කතා කරන්නේ නම්, ඔහු දෙවියන්වහන්සේගේ වචන කතා කරන්නකු ලෙස එය කළ යුතු ය. යමෙක් සේවය කරන්නේ නම්, දෙවියන්වහන්සේ සපයන ශක්තියෙන් ඔහු එය කළ යුතු ය. එසේ කළ යුත්තේ, හැම දේහි දී ම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් දෙවියන්වහන්සේ තේජෝමහිමයට පැමිණෙන පිණිස ය. තේජෝ මහිමයත්, ආධිපත්‍යයත් සදහට ම උන්වහන්සේගේ ය! ආමෙන්.