1 රාජාවලිය 9

9
ස්වාමින්වහන්සේ සාලමොන්ට ප්‍රකාශ වීම
1සාලමොන්, ස්වාමින්වහන්සේගේ ගෘහයේත්, රජුගේ මන්දිරයේත් ඉදිකිරීම් නිම කොට, ඔහු කරන්නට ආශා වූ සියල්ල ඉටු කර ගත් කල, 2ගිබෙයොන්හි ඔහුට පෙනුණු ලෙස, ස්වාමින්වහන්සේ දෙවන වරටත් සාලමොන්ට පෙනුණු සේක. 3ස්වාමින්වහන්සේ ඔහු අමතමින්,
“ඔබ මා අබියස කළ ඔබේ යාච්ඤාවත්, කන්නලව්වත් මම ඇසීමි; ඔබ ඉදි කළ මේ ගෘහයේ මගේ නාමය සදහට ම තබමින්, එය විශුද්ධ කළෙමි. මගේ ඇස් ද මගේ හදවත ද නිරන්තරයෙන් ම එහි වන්නේ ය.
4“ඔබ, ඔබේ පියා වූ දාවිත් කළ පරිද්දෙන්, හදවතේ අවංක භාවයෙන් ද සෘජු ව ද මා අබියස කටයුතු කරමින්, මා ඔබට අණ කරන සියල්ල කරමින්, මගේ නියෝග හා නියමයන් රක්ෂා කරන්නේ නම්, 5මම ඉශ්‍රායෙල්හි ඔබේ රාජකීය සිංහාසනය සදහට ම ස්ථාපිත කරන්නෙමි. එසේ කරන්නේ, ‘ඉශ්‍රායෙල්හි සිහසුන් පත් වන්නට ඔබට කිසි කලෙක මිනිසකු නැති නො වනු ඇතැ’ යි මා ඔබේ පියා වූ දාවිත්ට පොරොන්දු වූ පරිද්දෙනි.
6“එහෙත් ඔබ#9:6 හෙබ්‍රෙව් බසින් මෙය බහු වචනයෙන් ඇත. හෝ ඔබේ පුතුන් හෝ මා වෙතින් ඉවත හැරී, මා ඔබට දුන් මගේ ආඥා හා නියෝග රක්ෂා නො කොට, ගොස් අන් දෙවිවරුන්ට සේවය කර, නමස්කාර කරන්නේ නම්, 7මා විසින් ඉශ්‍රායෙල් ජනයාට දෙන ලද දේශයෙන් ඔවුන් නෙරපා හරින්නෙමි. මගේ නාමය උදෙසා මා විසින් විශුද්ධ කරන ලද මේ ගෘහය ප්‍රතික්ෂේප කරන්නෙමි. එවිට ඉශ්‍රායෙල් ජනයා, සියලු ජනයින් අතර උපහාසයක් ද සමච්චලයට හේතුවක් ද බවට පත් වනු ඇත. 8මේ ගෘහය සුන්බුන් ගොඩක් වනු ඇත.#9:8 විවිධ පුරාණ අනුවාදවලට අනුව ය. හෙබ්‍රෙව් මේ දේව මාලිගය උසස් වනු ඇත. ඒ අසලින් යන සියල්ලන් විස්මපත් ව, ‘මේ දේශයටත්, මේ ගෘහයටත් ස්වාමින්වහන්සේ මෙහෙම දෙයක් කළේ ඇයි?’ දැයි අසනු ඇත. 9එවිට මිනිසුන් පිළිතුරු දෙමින්, ‘ස්වාමින්වහන්සේ මේ සියලු විපත් ඔවුන් පිට ගෙනවුත් ඇත්තේ, ඔවුන් අන් දෙවිවරුන් වැලඳ ගනිමින්, ඔවුන්ට නමස්කාර කරමින්, ඔවුන්ට සේවය කරමින්, ඊජිප්තු දේශයෙන් පිටතට ඔවුන්ගේ පියවරුන් ගෙන ආ ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අත් හළ නිසා ය’ කියා කියනු ඇතැ” යි පැවසූ සේක.
සාලමොන්ගේ සෙසු ක්‍රියාකාරකම්
10 ස්වාමින්වහන්සේගේ ගෘහයත්, රජුගේ මන්දිරයත් යන මෙම ගොඩනැගිලි දෙක ඉදි කරන්නට සාලමොන් ගත කළ විසි වසර අවසානයේ, 11සාලමොන් රජු ගලීලයේ නගර විස්සක් තීර්හි රජු හීරාම්ට දුන්නේ ය. එසේ කළේ හීරාම් සාලමොන්ට වුවමනා කළ තරම් දේවදාර දැව, සයිප්‍රස් දැව හා රත්රන් සැපයූ බැවිනි. 12එහෙත් හීරාම් තමාට සාලමොන් දුන් නගර බලන්නට තීර් සිට පැමිණි කල, ඔහු ඒවා ගැන නො සතුටට පත් වී ය. 13“ඔබ මට දී ඇති මේ නගර මොනවා ද මා සහෝදරයා?” යි ඔහු ඇසී ය. එබැවින් ඔහු එම නගරවලට කාබූල්#9:13 හෙබ්‍රෙව් භාෂාවෙන් කාබූල් යන නම වටිනාකමක් නැති ලෙස උච්චාරණයේදී ඇසේ. දේශය යන නම තැබී ය. ඒ නම අද දක්වා පවතී. 14හීරාම් රන් තලෙන්ත එකසිය විස්සක්#9:14 මෙට්‍රික් ටොන් 4ක් පමණ රජු වෙත එවා තිබුණේ ය.
15සාලමොන් රජු, ස්වාමින්වහන්සේගේ ගෘහය ද තම මන්දිරය ද මිල්ලෝ#9:15 මිල්ලෝ එනම් පස් පිර වූ රැඳවුම් පවුරු 24 වෙනි පදයේ ද එසේ ය ද යෙරුසලම් පවුර ද හාසොර්, මෙගිද්දෝ හා ගෙසෙර් යන නගර ද ඉදිකරනු පිණිස බර වැඩ සඳහා බඳවා ගත් අයගේ ලේඛනය මෙසේ ය. 16ඊජිප්තුවේ රජු වූ පාරාවෝ ගෙසෙර්ට පහර දී, එය අත්කර ගෙන, ගිනිබත් කර, එහි සිටි කානානි වාසීන් මරා දමා තිබුණේ ය. ඔහු තම දියණිය වන සාලමොන්ගේ බිරිඳට එය දායාදයක් හැටියට දුන්නේ ය. 17තවද සාලමොන්, ගෙසෙර් යළි ඉදි කළේ ය. ඔහු පහළ බෙත්-හෝරෝන්, 18බාලාත් හා තමාගේ දේශය තුළ තිබූ කාන්තාරයේ තද්මොර්#9:18 හෙබ්‍රෙව් පාඨය තාමාර් ලෙස ද කියවිය හැක19තම ගබඩා පුරවර සියල්ල ද තම රථ නගර ද තම අශ්වාරෝහකයනට නගර ද යෙරුසලමෙහිත්, ලෙබනොන්හිත්, තමා පාලනය කළ මුළු පළාත පුරාත්, තමන් ඉදි කරන්නට රිසි වූ සියල්ල ද ඉදි කළේ ය.
20ඉශ්‍රායෙල්වරුන් නො වූ අමෝරිවරුන්ගෙන්, හිත්තිවරුන්ගෙන්, පෙරිස්සිවරුන්ගෙන්, හිවීවරුන්ගෙන් හා යෙබූසිවරුන්ගෙන් ඉතිරි ව සිටි සියලු මිනිසුන්, 21එනම් ඉශ්‍රායෙල්වරුන්ට සහමුලින් ම විනාශ කර දමන්නට නො හැකි වූ දේශයෙහි ඉතිරි ව සිටි අයගෙන් පැවත එන්නන්, අද දක්වා ඇති පරිදි, සාලමොන් බැළ මෙහෙවර සඳහා යොදවා ගත්තේ ය. 22එහෙත් සාලමොන්, ඉශ්‍රායෙල්වරුන්ගෙන් කිසිවකු වහලුන් කොට ගත්තේ නැත; ඔවුහු ඔහුගේ සෙබළුන්, ඔහුගේ රාජ්‍ය නිලධාරීන්, ඔහුගේ සෙන්පතීන්, ඔහුගේ රථ හා අසරුවන්ගේ අණ දෙන්නන් වශයෙන් සිටියහ. 23ඔවුහු වැඩ කළ ජනයා අධීක්ෂණය කිරීමෙහි නියැළී සිටියහ. සාලමොන්ගේ ව්‍යාපෘති බාර ව සිටි ප්‍රධාන නිලධාරීන් පන්සිය පනස් දෙනා ඔවුහු ය.
24පාරාවෝගේ දියණිය, දාවිත් පුරයේ සිට ඇය වෙනුවෙන් සාලමොන් ඉදි කළ මන්දිරය වෙත පැමිණි පසු, ඔහු මිල්ලෝ ඉදි කළේ ය.
25සාලමොන්, ස්වාමින්වහන්සේ උදෙසා ඉදිකර තිබූ පූජාසනය පිට අවුරුද්දකට තුන් වතාවක් දවන යාග පූජා හා ශාන්ති පූජා ඔප්පු කළේ ය. ඒ සමඟ ඔහු ස්වාමින්වහන්සේ අබියස සුගන්ධ ධූම ද දවාලී ය. එසේ ඔහු ස්වාමින්වහන්සේගේ ගෘහයේ නියමයන් සම්පූර්ණ කළේ ය.
26සාලමොන් රජු, ඒදොම් දේශයේ රතු මුහුදු වෙරළේ ඒලොත්#9:26 ඒලොත් එනම් ඒලත් අසල එසියොන්-ගෙබෙර්හි නැව් කණ්ඩායමක් ද තැනවී ය. 27සාලමොන්ගේ නාවික බළඇණිය සමඟ වැඩ කරන පිණිස, හීරාම්, මුහුද පිළිබඳ දැනුමැති තම නැවියන් යැවී ය. 28ඔවුහු ඕෆීර්ට යාත්‍රා කොට, රන් තලෙන්ත හාරසිය විස්සක්#9:28 මෙට්‍රික් ටොන් 14ක් පමණ ගෙනවුත්, සාලමොන් රජු වෙත දෙන ලදහ.

දැනට තෝරාගෙන ඇත:

1 රාජාවලිය 9: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න