1 රාජාවලිය 21

21
නාබොත්ගේ මිදි වත්ත
1සමාරියේ රජු වූ ආහාබ්ගේ රජ මැදුරට යාබදව යෙස්රෙයෙලීය නාබොත් සතු මිදි වත්තක් යෙස්රෙයෙල්හි පිහිටා තිබිණි. කලකට පසු 2ආහාබ්, නාබොත් අමතමින්, “ඔබේ මිදි වත්ත මගේ මැදුරට යාබදව ඇති නිසා, එළවළු කොටුවකට මට එය දෙන්න. ඒ වෙනුවට මම ඔබට මීට වඩා හොඳ මිදි වත්තක් දෙන්නම්; නැතහොත් ඔබේ කැමැත්තට අනුව එහි වටිනාකම ඔබට ගෙවන්නම්” යැයි පැවසී ය.
3එහෙත් නාබොත්, ආහාබ්ට පිළිතුරු දෙමින්, “මගේ පියවරුන්ගේ උරුමය ඔබට දීමෙන් ස්වාමින්වහන්සේ මා වළක්වන සේක්වා!” යි පැවසී ය.
4යෙස්රෙයෙලීය නාබොත්, “මගේ පියවරුන්ගේ උරුමය මා ඔබට දෙන්නේ නැතැ” යි කී හෙයින්, ආහාබ් නො සතුටු ව, කෝපයෙන් ගෙදර ගියේ ය. ඉවතට හරවා ගත් මුහුණින් යුතු ව තම යහන මත වැතිරී සිටි ඔහු, කෑම ගැනීම ප්‍රතික්ෂේප කළේ ය.
5ඔහුගේ බිරිඳ යෙසෙබෙල් අවුත්, ඔහු අමතා, “ඔබ සිත නො සතුටු ව තිබෙන්නේත්? කෑම නො කා සිටින්නේත් මන්දැ?” යි ඇසුවා ය.
6ඔහු ඇයට පිළිතුරු දෙමින්, “මා යෙස්රෙයෙලීය නාබොත්ට කතා කොට, ‘ඔබේ මිදි වත්ත, එහි වටිනාකමට මට විකුණන්න; නැති නම් ඔබ කැමති පරිදි ඒ වෙනුවට මා වෙනත් මිදි වත්තක් දෙන්නම්’ කීවා. එහෙත් ඔහු, ‘මගේ මිදි වත්ත මා ඔබට දෙන්නේ නැතැ’ යි මට කීවා” යි කීවේ ය.
7ඔහුගේ බිරිඳ යෙසෙබෙල් එවිට, “ඉශ්‍රායෙල් රජු හැටියට ඔබ වැඩ කරන්නේ මෙහෙම ද? නැගිට කෑම කන්න! ප්‍රීති වන්න. සතුටු වන්න. යෙස්රෙයෙලීය නාබොත්ගේ මිදි වත්ත මම ඔබට ලබා දෙන්නම්” යැයි පැවසුවා ය.
8එබැවින් ඈ ආහාබ්ගේ නමින් ලිපි ලියා, ඔහුගේ මුද්‍රාව තබා, නාබොත්ගේ පුරවරයේ ඔහු සමඟ විසූ වැඩිහිටියන් හා වංශාධිපතීන් වෙත යැවුවා ය.
9“උපවාස දවසක් ප්‍රකාශ කොට, ජනතාව අතර මුලසුනේ නාබොත් හිඳුවන්න. 10එහෙත් ඔහුට ඉදිරිපිටින් දුර්ජනයින් දෙදෙනකු හිඳුවා, දෙවියන්වහන්සේටත්, රජුටත් ඔහු ශාප කළ වගට ඔවුන් විසින් සාක්ෂි දීමට සලස්වන්න. ඉන්පසු ඔහු පිටතට ගෙන ගොස්, ගල් ගසා මරා දමන්නැ” යි
ඈ එම ලිපිවල ලීවා ය.
11එබැවින් නාබොත්ගේ පුරවරයේ වැඩිහිටියෝ සහ වංශාධිපතීහු තමන්ට යෙසෙබෙල් ලියන ලද ලිපිවල ඇය අණ කර තිබූ හැටියට කළහ. 12ඔවුහු උපවාසයක් ප්‍රසිද්ධ කොට, ජනයා අතර මුලසුනේ නාබොත් හිඳ වූහ. 13ඉන්පසු දුර්ජනයින් දෙදෙනෙක් අවුත්, ඔහු ඉදිරිපිට හිඳගෙන, ජනයා ඉදිරියේ, “නාබොත් දෙවියන්වහන්සේටත්, රජුටත් ශාප කළේ යැ” යි පවසමින්, නාබොත්ට එරෙහිව චෝදනා නැගූහ. එබැවින් ඔවුහු පුරවරයෙන් පිටතට ඔහු රැගෙන ගොස්, ගල් ගසා, මරා දැමූහ. 14ඉන්පසු ඔවුහු යෙසෙබෙල් වෙත පණිවුඩ යවමින්, “නාබොත් ගල් ගසනු ලැබ, මිය ගියේ යැ” යි දැන්වූහ.
15නාබොත් ගල් ගසනු ලැබ, මිය ගිය වග යෙසෙබෙල් ඇසූ විගස ආහාබ් ඇමතූ ඈ, “නැගිටින්න, යෙස්රෙයෙලීය නාබොත්, ඔබට විකුණන්නට අකමැති වූ ඔහුගේ මිදි වත්ත අයිති කර ගන්න. ඔහු දැන් ජීවතුන් අතර නැත. ඔහු මැරිලා” යි පැවසුවා ය. 16නාබොත් මිය ගිය වග ඇසූ ආහාබ් නැගිට, යෙස්රෙයෙලීය නාබොත්ගේ මිදි වත්ත අයිති කර ගැනීමට පිටත් ව ගියේ ය.
17එවිට ස්වාමින්වහන්සේගේ වචනය තිෂ්බීය එලියා වෙත පැමිණියේ ය: 18“නැගිට, සමාරියේ රජකම් කරන ඉශ්‍රායෙල් රජු වන ආහාබ් හමුවට පිටත් ව යන්න. අන්න, ඔහු දැන් නාබොත්ගේ මිදි වත්ත අයිති කර ගැනීමට එහි ගොස් සිටී. 19ඔහුට කියන්න, ‘ඔබ මිනී මරා දේපොළ අල්ලා ගත්තා නො වේ දැ?’ යි ස්වාමින්වහන්සේ අසන සේක; ස්වාමින්වහන්සේ මෙසේ ද කියන සේක: ‘බල්ලන් නාබොත්ගේ ලේ ලෙව කෑ තැනදී ම බල්ලෝ ඔබේ ලේ, ඔව්, ඔබේ ම ලේ ලෙව කන්නෝ ය කියා කියන්න.’ ”
20ආහාබ්, එලියා අමතමින්, “ආ නුඹ මා සොයා ගත්තා ද මගේ සතුර?” යි පැවසී ය.
“ඔව්, මම ඔබ සොයා ගත්තා” යි පිළිතුරු දුන් ඔහු, “මන්ද ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ නපුර කරන පිණිස, ඔබ, ඔබ ම විකුණාගෙන ඇතැ” යි පැවසී ය. 21උන්වහන්සේ පවසමින්, “ ‘මම ඔබ පිට විපත්තිය ගෙනෙන්නෙමි. ඔබේ දරු පරපුර විනාශ කර දමන්නෙමි. වහල් වේවා නිවහල් වේවා ආහාබ් වෙතින් මම ඉශ්‍රායෙල්හි අවසාන පුරුෂයා දක්වා කපා හෙළන්නෙමි. 22ඔබ මා කෝප ගැන් වූ නිසාත්, ඉශ්‍රායෙල්ට පව් කරන්නට සැලැස් වූ නිසාත් මම ඔබේ වංශය නෙබාට්ගේ පුත් යෙරොබොවම්ගේ වංශය හා අහියාගේ පුත් බාෂාගේ වංශය මෙන් වන්නට සලස්වන්නෙමි.’
23“යෙසෙබෙල් පිළිබඳව ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘යෙස්රෙයෙල් පවුර#21:23 බොහෝ හෙබ්‍රෙව් පිටපත් අනුව ය; හෙබ්‍රෙව් පිටපත් කිහිපයක්, ලතින් සහ සිරියැක් අනුව 2 රාජා 9:26 ද බලන්න යෙස්රෙයෙල්හි බිම් කොටසේදී අසලදී බල්ලෝ යෙසෙබෙල් කා දමන්නෝ ය.’
24“ආහාබ්ට අයිතිවූවන්ගෙන් පුරවරය ඇතුළත මිය යන අය බල්ලන් විසින් කා දමනු ලබති. පිටතදී මිය යන්නවුන් අහස් පක්ෂීන්ට ආහාර වන්නේ යැ” යි පැවසූ සේක.
25(තම බිරිඳ වූ යෙසෙබෙල් විසින් පොලඹවනු ලැබ, ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ නපුර කරන්නට, තමන් ම විකුණා ගත් ආහාබ් වැනි මිනිසෙක් කිසි කලෙක නො වී ය. 26ස්වාමින්වහන්සේ, ඉශ්‍රායෙල් ඉදිරියෙන් පන්නා දැමූ අමෝරිවරුන් මෙන් ඔහු දේව රූප පසු පස යෑමෙන් ඉතා නීච ලෙස හැසිරුණේ ය.)
27ආහාබ් ඒ වචන ඇසූ කල, තම හැඳිවත් ඉරාගෙන, ගෝණි රෙදි දවටාගෙන උපවාස කළේ ය. ඔහු ගෝණි පිට නිදා ගනිමින්, දුක්ඛිත භාවයෙන් එහා මෙහා ගියේ ය.
28එවිට ස්වාමින්වහන්සේගේ වචනය තිෂ්බීය එලියා වෙත පැමිණියේ ය: 29“ආහාබ් මා අබියස යටහත් වූ වග ඔබ දුටුවේ නැද්ද? ඔහු ම යටහත් වූ නිසා මම මේ විපත්තිය ඔහුගේ දවස්හි දී ගෙනෙන්නේ නැත. එහෙත් ඔහුගේ පුතුගේ දවස්වල ඔහුගේ වංශය පිටට එය ගෙනෙන්නෙමි” යි පැවසූ සේක.

දැනට තෝරාගෙන ඇත:

1 රාජාවලිය 21: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න