1 රාජාවලිය 20:13-34
1 රාජාවලිය 20:13-34 SCV
මේ අතර දිවැසිවරයෙක් ඉශ්‍රායෙල් රජු, ආහාබ් වෙත අවුත්, “ස්වාමින්වහන්සේ පවසන්නේ මෙයයි: ‘මේ මහ හමුදාව ඔබ දුටුවා ද? අද මම ඔබේ අතට ඔවුන් හසුකර දෙමි. මා ස්වාමින්වහන්සේ වග එවිට ඔබ දැනගනු ඇතැ’ යි දැන්වී ය. “එහෙත් එය කරන්නේ කවුරුන් දැ?” යි ආහාබ් ඇසී ය. එවිට දිවැසිවරයා, “ස්වාමින්වහන්සේ පවසන්නේ මෙයයි: ‘එය කරන්නේ ප්‍රාදේශීය සෙන්පතීන්ගේ කනිෂ්ඨ නිලධාරීන් යැ’ යි පැවසී ය. “සටන අරඹන්නේ කවුරු දැ?” යි ඔහු ඇසී ය. දිවැසිවරයා ඊට, “ඔබ” යැයි පැවසී ය. එබැවින් ආහාබ් ප්‍රාදේශීය සෙන්පතීන්ගේ කනිෂ්ඨ නිලධාරීන් දෙසිය තිස්දෙදෙනා රැස් කරවී ය. ඉන්පසු ඔහු ඉශ්‍රායෙල් ඉතිරි සියලු මිනිසුන් හත්දහස ද එක් රැස් කරවී ය. ඔවුහු පිටත් ව, ගියේ මද්දහනේ තම මිත්‍ර රජුන් තිස්දෙදෙනා සමඟ බෙන්-හදද් ඔවුන්ගේ කූඩාරම්වල බීමත්වෙමින් සිටින අතරේ ය. මුලින් ම පිටත් වූයේ, ප්‍රාදේශීය සෙන්පතීන්ගේ කනිෂ්ඨ නිලධාරීන් ය. තවද බෙන්-හදද් විසින් යවන ලද චර පුරුෂයෝ, “මිනිසුන් සමාරියේ සිට ඉදිරියට එති” යි ඔහුට දැන්වූහ. එවිට ඔහු, “ඔවුන් ඇවිදින් ඇත්තේ සමාදානයට නම්, ඔවුන් පණ පිටින් අල්ලා ගනු. ඔවුන් යුද්ධයට ආවා නම්, පණ පිටින් අල්ලා ගනු” යි පැවසී ය. ප්‍රාදේශීය සෙන්පතීන්ගේ කනිෂ්ඨ නිලධාරීහු හමුදාව තමන් පසු පස ඇති ව පුරවරයෙන් පිටතට ගමන් කළහ. ඒ එකිනෙකා තම ප්‍රතිවාදියා ගසා හෙළී ය. ඒ අවස්ථාවේ අරාමිවරුන් පලා ගිය අතර, ඉශ්‍රායෙල්වරු ඔවුන් ලුහුබැන්දහ. එහෙත් අරාම්හි රජු වූ බෙන්-හදද් තම අසරුවන් කීප දෙනකු සමඟ අසු පිට නැගී, බේරී පලා ගියේ ය. ඉශ්‍රායෙල් රජු පෙරට යමින්, අශ්වයින්ට ද රථවලට ද පහර දී, මහත් ඝාතනයකින් අරාම්වරුන් පරාජය කළේ ය. ඉන්පසු දිවැසිවරයා ඉශ්‍රායෙල් රජු වෙත අවුත්, කතා කොට, “ඊළඟ වසන්ත සමයේ අරාම්හි රජු ඔබට විරුද්ධ ව එනු ඇත. එබැවින් ඔබ ම ශක්තිමත් කර ගෙන, කළ යුත්තේ කුමක් දැයි කල්පනාවට ගන්නැ” යි පැවසී ය. මේ අතර අරාම්හි රජුගේ නිලධාරීහු ඔහුට උපදෙස් දෙමින්, “ඔවුන්ගේ දෙවිවරු කඳුවල දෙවිවරුයි. එනිසයි ඔවුන් අපට වඩා බලවත් වූයේ; එහෙත් තැනිතලාවේදී අප සටන් කළහොත්, සත්තකින් ම ඔවුන්ට වඩා අප බලවත් වේවි; මෙසේ කරන්න: රජුන් හැම දෙනා අණ දීමේ තනතුරෙන් ඉවත් කර, ඊට වෙනත් නිලධාරීන් පත් කරන්න. තවද ඔබට අහිමි වූ හමුදාව මෙන් හමුදාවක් ද අසකුට අසකු ද රථයකට රථයක් ද වශයෙන් සූදානම් කර ගන්න. එවිට තැනිතලාවේදී අපට ඉශ්‍රායෙල් හා සටන් කළ හැකියි. සත්තකින් ම එවිට අප ඔවුන්ට වඩා බලවත් වනු ඇතැ” යි පැවසූහ. ඔහු ඔවුන් හා එකඟ වී, ඒ අනුව කටයුතු කළේ ය. ඊළඟ වසන්තයේදී බෙන්-හදද් අරාම්වරුන් රැස් කර, ඉශ්‍රායෙල්ට එරෙහි සටනට අෆේක් වෙත ගියේ ය. ඉශ්‍රායෙල්වරු ද එක් රැස් කරනු ලැබ, ආහාර පාන සපයනු ලැබ, ඔවුන්ට විරුද්ධ ව ගියහ. අරාම්වරුන්ගෙන් දේශය වැසී තිබියදී ඉශ්‍රායෙල්වරුන් ඔවුන් ඉදිරියේ කඳවුරු බැඳ සිටියේ කුඩා එළු රංචු දෙකක් මෙනි. දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා අවුත්, ඉශ්‍රායෙල්හි රජු අමතමින්, “ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘ස්වාමින්වහන්සේ කඳුවල දෙවි කෙනකු මිස, මිටියාවත්වල දෙවි කෙනකු නො වේය කියා අරාම්වරුන් සිතන බැවින්, මම මේ විශාල හමුදාව ඔබේ අත්වලට හසුකර දෙන්නෙමි. මා ස්වාමින්වහන්සේ වග එවිට ඔබ දැනගන්නවා ඇතැ’ යි” පැවසී ය. ඔවුන් එකිනෙකාට එරෙහිව හත් දවසක් කඳවුරු බැඳ සිටි පසු, හත් වන දවසේ යුද්ධය ඇරඹිණි. ඉශ්‍රායෙල්වරු දවසක් ඇතුළත අරාම් පාබළ භටයින් එක්ලක්ෂයක් ගසා හෙළූහ. බේරී, අෆේක් පුරයට පලා ගිය ඉතිරි වූවන්ගෙන් විසිහත්දහසක් යට කර පවුර කඩා වැටිණි. පුරවරයට පලා ගිය බෙන්-හදද්, ඇතුළු කුටියක සැඟවුණේ ය. එවිට ඔහුගේ නිලධාරීහු ඔහුට කතා කොට, “බලන්න, ඉශ්‍රායෙල් වංශික රජවරු දයාවන්ත වග අප අසා තිබේ. එබැවින් අපි ගෝණි රෙදි ඉඟ දවටා, හිස් වටා ලණු ඔතා ඉශ්‍රායෙල් රජු වෙත යමු. ඇතැම් විට ඔහු ඔබට ජීවිත දානය දෙනු ඇතැ” යි කීහ. එබැවින් ගෝණි රෙදි තම ඉඟ දවටා, තම හිස් වටා ලණු ඔතා ගත් ඔවුහු ඉශ්‍රායෙල් රජු වෙත ගොස්, “ඔබගේ සේවක බෙන්-හදද් ‘මට ජීවිත දානය දෙන්න’ කියා ඉල්ලා සිටිනවා” යි කීහ. එවිට රජු, “ඔහු තවම ජීවත් ව සිටිනවා ද? ඔහු මගේ සහෝදරයා යැ” යි පැවසී ය. එය සුබ ලකුණක් ලෙස ගත් ඒ මිනිස්සු, ඔහුගේ වචනය අල්ලා ගන්නට යුහුසුලු වී, “ඔව්, ඔබගේ සහෝදර බෙන්-හදද්!” යැයි පැවසූහ. “යන්න, ඔහු කැඳවාගෙන එන්නැ” යි රජු පැවසී ය. බෙන්-හදද් පිටතට ආ කල ආහාබ් තම රථයට ඔහු නංවා ගත්තේ ය. බෙන්-හදද් ඔහු අමතමින්, “මගේ පියා ඔබේ පියාගෙන් ගත් පුරවර, මම යළි ඔබට දෙන්නෙමි. මගේ පියා සමාරියේදී කළ පරිද්දෙන් ඔබට ද දමස්කයේ වෙළඳ කලාප පිහිටුවිය හැකි යැ” යි පැවසී ය. ආහාබ් පිළිතුරු දෙමින්, “මේ ගිවිසුම් පදනම මත මම ඔබ නිදහස් කර හරින්නෙමි” යි පැවසී ය. එබැවින් ඔහු බෙන්-හදද් සමඟ ගිවිසුමක් කර, ඔහු යන්නට හැරියේ ය.

