1 රාජාවලිය 20:1-12

1 රාජාවලිය 20:1-12 SCV

අරාම්හි රජ වූ බෙන්-හදද් තම මුළු හමුදාව එක් රැස් කර, රජවරුන් තිස් දෙදෙනකු ඇතුළු ඔවුන්ගේ අශ්වයින් හා යුධ රථ කැටුව ගොස්, සමාරිය වටලා ඊට පහර දුන්නේ ය. ඉශ්‍රායෙල්හි රජ වන ආහාබ් වෙත පණිවුඩකරුවන් පුරවරයට යැවූ ඔහු, “බෙන්-හදද් මෙසේ පවසයි: ‘ඔබේ රිදී හා රත්තරන් මගේ; ඔබේ හොඳ ම භාර්යාවන් හා දරුවන් මගේ’ යි කියා” යැවී ය. ඉශ්‍රායෙල් රජු, “මා ස්වාමි රජතුමනි, ඔබ පැවසූ පරිදි මාත්, මා සතු සියල්ලත් ඔබේ යැ” යි පිළිතුරු යැවී ය. පණිවුඩකරුවෝ යළි අවුත්, “බෙන්-හදද් මෙසේ කියයි: ‘ඔබේ රිදී හා රත්රන් ද ඔබේ භාර්යාවන් හා ඔබේ දරුවන් ද ඉල්ලා එවීමි. එහෙත් හෙට මේ වෙලාවට ඔබේ මන්දිරයත්, ඔබේ නිලධාරීන්ගේ ගෙවලුත් සෝදිසි කරන්නට මම මගේ නිලධාරීන් එවන්නෙමි. ඔවුන් ඔබ ආශා කරන සියල්ල අත්කර ගෙන, ඒවා ගෙන යනු ඇතැ’ යි” කීහ. ඉශ්‍රායෙල් රජු, දේශයේ සියලු වැඩිහිටියන් කැඳවා, ඔවුන් අමතමින්, “බලන්න මේ මිනිහා කරදර කරන්නට මාන බලන හැටි. ඔහු මගේ භාර්යාවන් හා මගේ දරුවන් ද මගේ රිදී හා රත්තරන් ද ඉල්ලා එවූ කල මා එය ප්‍රතික්ෂේප කළේ නැතැ” යි කීවේ ය. වැඩිහිටියන් හා මුළු ජනතාව පිළිතුරු දෙමින්, “ඔහුට සවන් දෙන්න එපා; ඔහුගේ ඉල්ලීම්වලට එකඟ වන්න එපා” යි පැවසූහ. එබැවින් ඔහු බෙන්-හදද්ගේ පණිවුඩකරුවන්ට පිළිතුරු දෙමින්, “මගේ ස්වාමි රජ්ජුරුවන්ට මෙසේ කියන්න: ‘පළමු වතාවේ ඔබ ඉල්ලූ සියල්ල, ඔබේ සේවක මම ඉටු කරන්නෙමි. එහෙත් මේ ඉල්ලීම නම්, ඉටු කරන්නට නො හැකි යැ’ යි” කියා යැවී ය. ඔවුහු එම පිළිතුර රැගෙන බෙන්-හදද් වෙත ආපසු ගියහ. එවිට බෙන්-හදද්, “මා සමඟ එන මගේ මිනිසුන් එකිනෙකාට මිටක් බැගින් වත් ගන්නට සමාරියේ දූවිලි ප්‍රමාණවත් වෙතොත් දෙවිවරු මට එසේ ම ද ඊටත් වැඩි ලෙස ද කරත්වා!” යි ආහාබ් වෙත පණිවුඩ එවී ය. ඉශ්‍රායෙල් රජු පිළිතුරු දෙමින්, “ ‘තමාගේ ආයුධ පැළඳගන්නා, තමාගේ ආයුධ ගලවන්නා මෙන් පාරට්ටු කර නො ගනීවා’ කියා ඔහුට කියන්නැ” යි කියා යැවී ය. රජවරුන් සමඟ කූඩාරම්වල බොමින් සිටියදී එම පණිවුඩය ඇසූ බෙන්-හදද්, “සටනට පෙළ ගැසෙනු!” යි තම මිනිසුන්ට නියෝග කළේ ය. එබැවින් ඔවුහු පුරවරයට පහර දෙන පිණිස සූදානම් වූහ.