1 රාජාවලිය 19:9-21

1 රාජාවලිය 19:9-21 SCV

ඔහු එහි ගුහාවකට ඇතුල් වී, රැය ගත කළේ ය. ස්වාමින්වහන්සේ ස්වාමින්වහන්සේගේ වචනය ඔහු වෙත පැමිණ, “එලියා, නුඹ මෙහි කුමක් කරනවා දැ?” යි විමසී ය. ඔහු පිළිතුරු දෙමින්, “සේනාංකවල ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ කෙරේ මා ඉතා උද්යෝගී ව සිටියා; ඉශ්‍රායෙල්වරුන් ඔබගේ ගිවිසුම අත්හැර දමා, ඔබගේ පූජාසන කඩා බිඳ, ඔබගේ දිවැසිවරුන් කඩුවෙන් මරා දැමුවා. ඉතිරි ව සිටින්නේ මා පමණයි; දැන් ඔවුන් මා ද මරා දමන්නට තැත් කරනවා” යි පැවසී ය. එවිට උන්වහන්සේ, “පිටතට ගොස්, කන්ද උඩ ස්වාමින්වහන්සේ අභිමුඛයේ සිටගන්න. මන්ද ස්වාමින්වහන්සේ පසු කර යන සේකැ” යි පැවසූ සේක. එවිට මහ බලවත් සුළඟක් හමා, ස්වාමින්වහන්සේට පෙරටුව කඳු ඉරා, පර්වත බිඳ හෙළී ය; එහෙත් ස්වාමින්වහන්සේ සුළඟේ නො වූ සේක. සුළඟට පසු, භූමිකම්පාවක් විය. එහෙත් ස්වාමින්වහන්සේ භූමිකම්පා වේ නො වූ සේක. භූමිකම්පාවට පසු ගින්නක් විය. එහෙත් ස්වාමින්වහන්සේ ගින්නේ ද නො වූ සේක. ගින්නට පසු, සිහින් කටහඬක් විය. එලියා ඒ ඇසූ කල, තම සළුවෙන් සිය මුහුණ වසාගෙන, පිටතට අවුත්, ගුහාවේ දොරකඩ සිට ගත්තේ ය. එවිට ඔහු වෙත පැමිණි කටහඬක්, “එලියා, නුඹ මෙහි මක්කරනවා දැ?” යි ඇසී ය. ඔහු පිළිතුරු දෙමින්, “සේනාංකවල ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ කෙරේ මා ඉතා උද්යෝගී ව සිටියා. ඉශ්‍රායෙල්වරුන් ඔබගේ ගිවිසුම අත්හැර දමා, ඔබගේ පූජාසන කඩා බිඳ, ඔබගේ දිවැසිවරුන් කඩුවෙන් මරා දැමුවා. ඉතිරි ව සිටින්නේ මා පමණයි; දැන් ඔවුන් මා ද මරා දමන්නට තැත් කරනවා” යි පැවසී ය. ස්වාමින්වහන්සේ ඔහුට කතා කොට, “නුඹ ආ මාර්ගයෙන් ආපසු ගොස්, දමස්කයේ කාන්තාරයට යන්න. එහි ගිය පසු, හසායෙල් අරාම්හි රජු වශයෙන් ආලේප කරන්න. තවද ඉශ්‍රායෙල්හි රජ වීමට, නිම්ෂීගේ පුත් යේහූ ආලේප කරන්න. ආබෙල්-මෙහෝලාහි ෂාෆාට්ගේ පුත් එලීෂා, නුඹ වෙනුවට දිවැසිවරයා වශයෙන් ආලේප කරන්න. හසායෙල්ගේ කඩුවෙන් ගැලවෙන අය, යේහූ මරා දමනු ඇත. යේහූගේ කඩුවෙන් ගැලවෙන අය, එලීෂා මරා දමනු ඇත. එසේ වුවත් බාල් දෙවියාට තම දණ නො නැමූ, තම මුවෙන් ඔහු සිප නො ගත් හත්දහසක් දෙනා ඉශ්‍රායෙල්හි මම ඉතිරි කර ගනිමි” යි පැවසූ සේක. ඉන්පසු එතැනින් පිටත් ව ගිය එලියාට ෂාෆාට්ගේ පුත් එලීෂා මුණගැසුණේ ය. ඔහු ගොන් දොළොස් බානක් සමඟ හාමින් සිටියේ ය. ඔහු දොළොස් වන බාන දක්කද්දී, එලියා ඔහු වෙත ගොස්, තම සළුව ගලවා ඔහු පිට හෙළී ය. එවිට එලීෂා තම ගොනුන් අත්හැර එලියා පසු පස දිව ගොස්, කතා කොට, “මගේ පියාත්, මගේ මවත් සිඹ එන්නට අවසර දෙන්න; ඉන්පසු මම ඔබ අනුව එන්නෙමි” යි කී ය. එවිට එලියා, “ආපහු යන්න; මොනවද මා ඔබට කළේ?” යි ඇසී ය. එවිට ඔහු වෙතින් ආපසු හැරී ගිය එලීෂා, තම ගොන් බාන මරා, ගොනුන්ගෙන් වියගහ ගෙන, දරට යොදා මස් පිළියෙල කළේ ය; මිනිසුන්ට ඒවා බෙදා දුන් කල ඔවුහු ඒවා කෑහ. එලීෂා ඉන්පසු එලියා පසු පස ගොස්, ඔහුගේ සහායකයා වූයේ ය.

1 රාජාවලිය 19:9-21 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය