එලියා කළ සියල්ලත්, ඔහු දිවැසිවර සියල්ලන් කඩු ගා, මැරූ හැටිත් ආහාබ් යෙසෙබෙල්ට දැන්වී ය. එවිට යෙසෙබෙල් පණිවුඩකරුවකු යවමින්, “හෙට මේ වෙලාවට ඔබේ ජීවිතය ඔවුන්ගෙන් කෙනකු මෙන් වීමට මා සැලැස්වූයේ නැත්නම්, දෙවිවරු මට එසේ ම ද ඊටත් වැඩි ලෙස ද කරත්වා” යි එලියාට කියා ඇරියා ය.
එලියා භය වී, තම පණ බේරා ගන්නට පලා ගියේ ය. ඔහු යූදාහි බෙයර්ෂෙබා වෙත පැමිණ, තම සේවකයා එහි නවතා, දවසක ගමන්-දුරක් ගොස්, පාළුකරයට පිවිසුණේ ය. ඔහු රොතෙම් ගහක් යටට අවුත්, හිඳගෙන, තමාට මරණය ඉල්ලා යාච්ඤා කළේ ය. “ස්වාමින්වහන්ස, මේ හොඳට ම ඇති; මගේ ජීවිතය ගත මැනව; මන්ද මා මගේ මුතුන් මිත්තන්ට වඩා උතුම් නැතැ” යි පැවසී ය. ඉන්පසු ඔහු රොතෙම් ගහ යට වැතිර නිදා ගත්තේ ය.
එවිට මෙන්න, දේව දූතයෙක් ඔහුට අත ගසා, කතා කොට, “නැගිට, කෑම කන්නැ” යි කීවේ ය. ඔහු වටපිට බැලුවේ ය. එවිට මෙන්න! තම හිස ළඟ ගිනි අඟුරු පිට පිලිස්සූ රොටියක් හා ජල බඳුනක් විය; ඔහු කා, බී යළි වැතිරුණේ ය.
ස්වාමින්වහන්සේගේ දූතයා දෙවන වරට අවුත්, ඔහුට අත ගසා, “නැගිට කන්න. මන්ද ගමන ඔබට දුර වැඩි” යි කීවේ ය. එවිට ඔහු නැගිට කෑවේ ය, බීවේ ය. ඔහු ඒ කෑමෙන් ශක්තිමත් වී, දහවල් හතළිහක් හා රෑ හතළිහක් ගමන් කර, දෙවියන්වහන්සේගේ කන්ද වන හොරේබ් වෙත ළඟා විය. ඔහු එහි ගුහාවකට ඇතුල් වී, රැය ගත කළේ ය.
ස්වාමින්වහන්සේ
ස්වාමින්වහන්සේගේ වචනය ඔහු වෙත පැමිණ, “එලියා, නුඹ මෙහි කුමක් කරනවා දැ?” යි විමසී ය.
ඔහු පිළිතුරු දෙමින්, “සේනාංකවල ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ කෙරේ මා ඉතා උද්යෝගී ව සිටියා; ඉශ්‍රායෙල්වරුන් ඔබගේ ගිවිසුම අත්හැර දමා, ඔබගේ පූජාසන කඩා බිඳ, ඔබගේ දිවැසිවරුන් කඩුවෙන් මරා දැමුවා. ඉතිරි ව සිටින්නේ මා පමණයි; දැන් ඔවුන් මා ද මරා දමන්නට තැත් කරනවා” යි පැවසී ය.