1 රාජාවලිය 16

16
1එවිට ස්වාමින්වහන්සේගේ වචනය බාෂාට එරෙහිව, හනානීගේ පුත් යේහූ වෙත පැමිණියේ ය: 2“දූවිල්ලෙන් මම නුඹ ඉහළට ඔසවා, මගේ ජනයා වන ඉශ්‍රායෙල් කෙරෙහි නායකයා බවට පත් කළෙමි. එහෙත් නුඹ යෙරොබොවම්ගේ අඩිපාරේ යමින්, මගේ ජනයා වන ඉශ්‍රායෙල්ට පව් කරන්නටත්, ඔවුන්ගේ පාපවලින් මා කෝප කරවන්නටත් සැලසී ය. 3එහෙයින් මෙන්න, මම බාෂා සහ ඔහුගේ වංශය වනසා දමන්නෙමි. මම නුඹේ වංශය නෙබාට්ගේ පුත් යෙරොබොවම්ගේ වංශය මෙන් වන්නට සලස්වන්නෙමි. 4පුරය ඇතුළත මැරෙන බාෂාට අයිති වූවෝ, බල්ලන් විසින් කා දැමේ. ඉන් පිටතදී මැරී යන්නවුන් අහසේ පක්ෂීන්ට ආහාර වන්නේ ය.”
5බාෂා සම්බන්ධ සෙසු කාරණා ද ඔහු කළ දෑ හා ඔහුගේ බලවත් ක්‍රියා ද ඉශ්‍රායෙල්හි රජුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබෙනවා නො වේ ද? 6බාෂා තම පියවරුන් සමඟ සැතපුණෙන්, තිර්සාහි භූමදාන කෙරිණි. ඔහුගේ පුත් ඒලා, ඔහු වෙනුවට රජකමට පත් විය.
7හනානීගේ පුත් දිවැසිවර යේහූ මගින් ස්වාමින්වහන්සේගේ වචනය බාෂා හා ඔහුගේ වංශය වෙත පැමිණියේ, ඔහු යෙරොබොවම්ගේ වංශයට සමාන ව තමා කළ දේ මගින් උන්වහන්සේ කෝප කරවමින්, ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ කර තිබූ සියලු නපුර නිසාත්, ඒ වංශය විනාශ කළ නිසාත් ය.
ඉශ්‍රායෙල්හි ඒලා රජු
8යූදාහි රජු වූ ආසාගේ විසිහය වන අවුරුද්දේ බාෂාගේ පුත් ඒලා ඉශ්‍රායෙල්හි රජකමට පත් විය. ඔහු තිර්සාහි වසර දෙකක් රජකම් කළේ ය.
9ඔහුගේ නිලධාරියකු වූ, ඔහුගේ රථවලින් බාගයකට සෙන්පති ව සිටි සිම්රී ඔහුට එරෙහිව කුමන්ත්‍රණ කළේ ය. ඒ අවස්ථාවේ ඒලා සිටියේ තිර්සාහි ය. තිර්සාහි මන්දිරය බාර අර්සාගේ නිවසේ ඔහු සිටියේ බීමත් ව ය. 10සිම්රී ඇතුළට අවුත්, ඒලාට ගසා, ඔහු මරා දැම්මේ ය. ඒ යූදා රජු වූ ආසාගේ විසිහත් වන වසරේදී ය.
11ඔහු රජ වී, සිංහාසනයේ හිඳගත් විගස, බාෂාගේ මුළු පියවංශය ඝාතන කර දැම්මේ නෑයකු හෝ මිතුරකු හෝ කිසි ම පිරිමියකු ඉතිරි නො කරමිනි. 12එසේ සිම්රී, දිවැසිවර යේහූ මගින් පැවසූ බාෂාට එරෙහි ස්වාමින්වහන්සේගේ වචනයට අනුව, බාෂාගේ මුළු පියවංශය විනාශ කර දැමී ය. 13එසේ වූයේ, ඔවුන්ගේ නිරර්ථක දේවතා පිළිම මගින් ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ කෝප ගන්වමින්, බාෂා හා ඔහුගේ පුත් ඒලා කළ පාප හා ඔවුන් ඉශ්‍රායෙල්වරුන්ට කරන්නට සැලැස් වූ සියලු පාප නිසා ය.
14ඒලා සම්බන්ධ සෙසු කාරණා ද ඔහු කළ සියල්ල ද ඉශ්‍රායෙල්හි රජුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබෙනවා නො වේ ද?
ඉශ්‍රායෙල්හි සිම්රී රජු
15සිම්රී, යූදා රජු වූ ආසාගේ විසිහත් වන වසරේ රජ වී, දවස් හතක් තිර්සාහි රජකම් කළේ ය. හමුදාව, පිලිස්ති නගරයක් වූ ගිබ්බෙතෝන් අසල කඳවුරු බැඳ සිටියේ ය. 16රජුට එරෙහිව කුමන්ත්‍රණ කළ සිම්රී රජු මරා දැමූ වග ඇසූ කඳවුරේ සිටි ඉශ්‍රායෙල්වරු ඒ දවසේ ම කඳවුර තුළදී හමුදාපති ඔම්රී ඉශ්‍රායෙල්හි රජකමට පත් කර ගත්හ. 17ඉන්පසු ඔම්රී හා ඔහු සමඟ සිටි සියලු ඉශ්‍රායෙල්වරු ගිබ්බෙතෝන් වෙතින් ඉවත් ව, තිර්සා වැටලූහ. 18පුරවරය අල්ලා ගත් වග දුටු සිම්රී, රජ මැදුරේ බළකොටුව තුළට වැද, රජ මැදුරට ගිනි තැබී ය. එසේ ඔහු මරුමුවට පත් විය. 19එසේ වූයේ යෙරොබොවම්ගේ මාර්ගයේ යමින්, ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි නපුර කරමින් ඔහු කළ පාප නිසාත්, ඉශ්‍රායෙල්ට කරන්නට සැලැස් වූ පාප තුළින් ඔහු කළ පාප නිසාත් ය.
20සිම්රී සම්බන්ධ සෙසු කාරණා ද ඔහු කළ කැරලිකාරකම ද ඉශ්‍රායෙල්හි රජුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබෙනවා නො වේ ද?
ඉශ්‍රායෙල්හි ඔම්රී රජු
21ඉන්පසු ඉශ්‍රායෙල් ජනයා දෙපිලකට බෙදුණහ. එක් පිලක් ගීනත්ගේ පුත් තිබ්නී රජකර ගැනීමට ඔහුට සහාය දැක් වූ අතර අනෙක් පිල ඔම්රීට සහාය දැක්වී ය. 22එහෙත් ඔම්රීගේ සගයින් ගීනත්ගේ පුත් තිබ්නීගේ අයට වඩා බලවත් වූයෙන්, තිබ්නී මිය ගියේ ය. ඔම්රී රජකමට පත් විය.
23යූදාහි රජු වූ ආසාගේ තිස් එක් වන වසරේ, ඔම්රී ඉශ්‍රායෙල්හි රජකමට පත් වී දොළොස් වසරක් රජකම් කළේ ය. ඉන් වසර හයක් තිර්සාහි දී ය. 24ඔහු සමාරිය කන්ද, ෂෙමෙර්ගෙන් රිදී තලෙන්ත දෙකකට මිල දී ගෙන, ඒ කන්ද පිට පුරවරයක් ඉදි කොට, ඊට සමාරිය#16:24 සමාරිය හෙබ්‍රෙව් ෂොම්රෝන් ලෙස වේ. යන නම තැබුවේ, කන්දේ මුල් හිමිකරු වන ෂෙමෙර්ගේ නමට අනුව ය.
25එහෙත් ඔම්රී ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ නපුර කරමින්, ඔහුට පෙර සිටි සියල්ලන්ට ම වඩා පව් කළේ ය. 26ඔහු නෙබාට්ගේ පුත් යෙරොබොවම්ගේ මුළු මාර්ගයේ යමින්, තමන්ගේ නිරර්ථක දේවතා පිළිම මගින් ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ කෝප ගැන්වීමට ඉශ්‍රායෙල්වරුන්ට සැලැස්වීමෙන් ඔහු කළ පාපයේ ගැලුණේ ය.
27ඔම්රී සම්බන්ධ සෙසු කාරණා ද ඔහු කළ දෑ හා ඔහු කළ බලවත් ක්‍රියා ද ඉශ්‍රායෙල්හි රජුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබෙනවා නො වේ ද? 28ඔම්රී තම පියවරුන් සමඟ සැතපුණෙන්, සමාරියෙහි භූමදාන කෙරිණි. ඔහුගේ පුත් ආහාබ් ඔහු වෙනුවට රජකමට පත් විය.
ඉශ්‍රායෙල්හි ආහාබ් රජු
29යූදාහි රජු වූ ආසාගේ තිස්අට වන වසරේ ඔම්රීගේ පුත් ආහාබ්, ඉශ්‍රායෙල්හි රජකමට පත් වී, සමාරියෙහි වසර විසිදෙකක් ඉශ්‍රායෙල් කෙරෙහි රජකම් කළේ ය. 30ඔම්රීගේ පුත් ආහාබ් තමාට පෙර සිටි හැමට වඩා ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ නපුර කළේ ය. 31ඔහු නෙබාට්ගේ පුත් යෙරොබොවම්ගේ පාපවල ගැලීම ඉතා සුළු දෙයකැයි සැලකුවා පමණක් නො ව, සීදොන්වරුන්ගේ රජු වූ එත්බාල්ගේ දියණිය වූ යෙසෙබෙල් ද ආවාහ කර ගත්තේ ය. ඔහු බාල් දෙවියාට මෙහෙ කරන්නටත්, වැඳුම් පිදුම් කරන්නටත් පටන් ගත්තේ ය. 32සමාරියේ ඔහු ඉදි කළ බාල් දෙවියාගේ දෙවොලෙහි ඔහු බාල්ට පූජාසනයක් පිහිටුවී ය. 33ආහාබ් අෂේරා කණුවක් ද සෑදී ය. ඔහු තමාට පෙර සිටි සියලු ඉශ්‍රායෙල් රජුන්ට වඩා තමා කළ දෙයින් ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ වඩ වඩාත් කෝප ගැන්වී ය.
34ආහාබ්ගේ සමයේ බෙතෙල්හි හීයෙල් යෙරිකෝව යළි ඉදි කළේ ය. නූන්ගේ පුත් යෝෂුවා පවසන ලද ස්වාමින්වහන්සේගේ වචනයට අනුව ඔහු එහි අත්තිවාරම දමන කල, තම කුලුඳුල් පුතු වූ අබිරාම් ද ඔහු එහි දොරටු සවි කරන කල, තම බාල පුතු වූ සෙගූබ් ද නැසුණහ.

දැනට තෝරාගෙන ඇත:

1 රාජාවලිය 16: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න