1 රාජාවලිය 16:8-20

1 රාජාවලිය 16:8-20 SCV

යූදාහි රජු වූ ආසාගේ විසිහය වන අවුරුද්දේ බාෂාගේ පුත් ඒලා ඉශ්‍රායෙල්හි රජකමට පත් විය. ඔහු තිර්සාහි වසර දෙකක් රජකම් කළේ ය. ඔහුගේ නිලධාරියකු වූ, ඔහුගේ රථවලින් බාගයකට සෙන්පති ව සිටි සිම්රී ඔහුට එරෙහිව කුමන්ත්‍රණ කළේ ය. ඒ අවස්ථාවේ ඒලා සිටියේ තිර්සාහි ය. තිර්සාහි මන්දිරය බාර අර්සාගේ නිවසේ ඔහු සිටියේ බීමත් ව ය. සිම්රී ඇතුළට අවුත්, ඒලාට ගසා, ඔහු මරා දැම්මේ ය. ඒ යූදා රජු වූ ආසාගේ විසිහත් වන වසරේදී ය. ඔහු රජ වී, සිංහාසනයේ හිඳගත් විගස, බාෂාගේ මුළු පියවංශය ඝාතන කර දැම්මේ නෑයකු හෝ මිතුරකු හෝ කිසි ම පිරිමියකු ඉතිරි නො කරමිනි. එසේ සිම්රී, දිවැසිවර යේහූ මගින් පැවසූ බාෂාට එරෙහි ස්වාමින්වහන්සේගේ වචනයට අනුව, බාෂාගේ මුළු පියවංශය විනාශ කර දැමී ය. එසේ වූයේ, ඔවුන්ගේ නිරර්ථක දේවතා පිළිම මගින් ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ කෝප ගන්වමින්, බාෂා හා ඔහුගේ පුත් ඒලා කළ පාප හා ඔවුන් ඉශ්‍රායෙල්වරුන්ට කරන්නට සැලැස් වූ සියලු පාප නිසා ය. ඒලා සම්බන්ධ සෙසු කාරණා ද ඔහු කළ සියල්ල ද ඉශ්‍රායෙල්හි රජුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබෙනවා නො වේ ද? සිම්රී, යූදා රජු වූ ආසාගේ විසිහත් වන වසරේ රජ වී, දවස් හතක් තිර්සාහි රජකම් කළේ ය. හමුදාව, පිලිස්ති නගරයක් වූ ගිබ්බෙතෝන් අසල කඳවුරු බැඳ සිටියේ ය. රජුට එරෙහිව කුමන්ත්‍රණ කළ සිම්රී රජු මරා දැමූ වග ඇසූ කඳවුරේ සිටි ඉශ්‍රායෙල්වරු ඒ දවසේ ම කඳවුර තුළදී හමුදාපති ඔම්රී ඉශ්‍රායෙල්හි රජකමට පත් කර ගත්හ. ඉන්පසු ඔම්රී හා ඔහු සමඟ සිටි සියලු ඉශ්‍රායෙල්වරු ගිබ්බෙතෝන් වෙතින් ඉවත් ව, තිර්සා වැටලූහ. පුරවරය අල්ලා ගත් වග දුටු සිම්රී, රජ මැදුරේ බළකොටුව තුළට වැද, රජ මැදුරට ගිනි තැබී ය. එසේ ඔහු මරුමුවට පත් විය. එසේ වූයේ යෙරොබොවම්ගේ මාර්ගයේ යමින්, ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි නපුර කරමින් ඔහු කළ පාප නිසාත්, ඉශ්‍රායෙල්ට කරන්නට සැලැස් වූ පාප තුළින් ඔහු කළ පාප නිසාත් ය. සිම්රී සම්බන්ධ සෙසු කාරණා ද ඔහු කළ කැරලිකාරකම ද ඉශ්‍රායෙල්හි රජුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබෙනවා නො වේ ද?