1 රාජාවලිය 14:6-24

1 රාජාවලිය 14:6-24 SCV

එබැවින් ඇය ඇතුළු වෙද්දී, ඇගේ අඩි ශබ්දය ඇසූ අහියා, “ඇතුළට එන්න; යෙරොබොවම්ගේ බිරිඳ, ඇයි මේ රඟපෑම? මා ළඟ ඇත්තේ අසුබ ආරංචියක්. ගොසින්, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේකැයි යෙරොබොවම්ට කියන්න: ‘ජනයා අතරෙන් මම නුඹ උසස් කොට, මගේ ජනයා වන ඉශ්‍රායෙල්හි නායකයා කොට පත් කළෙමි. දාවිත්ගේ වංශයෙන් රාජ්‍යය ඉරා, මා ඔබට දුන් නමුදු ඔබ, මගේ ආඥා රක්ෂා කළ, තමන්ගේ මුළු හදින් මා අනුගමන කළ, මගේ ඇස් හමුවේ හරි ව තිබූ දේ පමණක් කළ මගේ සේවක දාවිත් මෙන් වූයේ නැත. නුඹට පෙර සිටි සියල්ලන්ට ම වඩා නුඹ නපුර කරමින්, නුඹට ම අන් දෙවිවරුන්, ලෝහමය පිළිම සාදා ගෙන, නුඹ මා කෝපයෙන් අවුස්සා, ඔබේ පිටුපසට මා තල්ලු කර දමා ඇත. “ ‘ඒ නිසා මෙන්න, යෙරොබොවම්ගේ වංශය පිට මම විපත්තිය ගෙනෙන්නෙමි. වහල් හෝ නිවහල් වේවා යෙරොබොවම්ට අයිති ඉශ්‍රායෙල්හි අවසාන පිරිමියා දක්වා ම ඔහු වෙතින් සිඳ දමන්නෙමි. යමකු කැළි කසළ මුළුමනින් දැවී යන තුරු පුලුස්සා දමන්නාක් මෙන්, මම යෙරොබොවම්ගේ වංශය පුලුස්සා දමන්නෙමි. යෙරොබොවම්ට අයිති අයගෙන් නගරයේ මිය යන අය බල්ලන් විසින් කා දමනු ලබන්නේ ය. ඉන් පිටතදී මිය යන අය අහස් පක්ෂීන්ට ආහාර වන්නේ ය. මන්ද එසේ පැවසුවේ ස්වාමින්වහන්සේ ය.’ “දැන් ඔබ යළි ගෙදර යන්න. ඔබ, ඔබේ පුරවරයට පය තබන විට ම දරුවා මිය යනු ඇත. මුළු ඉශ්‍රායෙල් ඔහු ගැන ශෝක වී ඔහු භූමදාන කරන්නෝ ය. යෙරොබොවම්ට අයිතිවූවන්ගෙන් භූමදාන කරනු ලබන්නේ ඔහු පමණකි. මන්ද යෙරොබොවම්ගේ වංශයෙන් ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට යම් හොඳක් හමු වූයේ ඔහු තුළ පමණි. “යෙරොබොවම්ගේ පියවංශය සිඳ දමන රජකු ස්වාමින්වහන්සේ තමන් උදෙසා ඉශ්‍රායෙල්හි නැගිටුවන සේක. ඒ දවස අදයි. ඔව්! මේ දැන්. බට ගසක් වතුරේ එහාට මෙහාට වැනෙන ලෙස ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල්ට පහර දෙන සේක; උන්වහන්සේ ඔවුන්ගේ පියවරුන්ට දුන් යහපත් දේශයෙන් ඉශ්‍රායෙල් මුලිනුදුරා, ගංගාවෙන් එතෙරට ඔවුන් විසුරුවා දමන සේක. මන්ද ඔවුහු තමන්ට අෂේරා කණු සාදා ගැනීමෙන්, ස්වාමින්වහන්සේ කෝප ගැන්වූහ. යෙරොබොවම් විසින් කර ඇති පාප නිසාත්, ඔහු ඉශ්‍රායෙල්ට කරන්නට සැලැස් වූ පාප නිසාත් උන්වහන්සේ ඉශ්‍රායෙල් අත්හැර දමන සේකැ” යි පැවසී ය. ඉන්පසු යෙරොබොවම්ගේ බිරිඳ නැගිට, පිටත් ව, තිර්සා වෙත ගියා ය. ඇය ගෙයි එළිපත්ත පිට අඩිය තැබූ සැණින් දරුවා මිය ගියේ ය. ස්වාමින්වහන්සේ තම සේවක දිවැසිවර අහියා මගින් පවසා තිබූ පරිදි ඉශ්‍රායෙල්වරු සියලු දෙනා ඔහු වළලා, ඔහු ගැන වැලපුණහ. යෙරොබොවම් සම්බන්ධ සෙසු කාරණා ද ඔහුගේ යුද්ධ හා ඔහු පාලනය කළ අන්දම ද ඉශ්‍රායෙල්හි රජුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබේ. ඔහු වසර විසිදෙකක් රජකම් කොට, තම පියවරුන් සමඟ සැතපුණේ ය. ඔහුගේ පුත් නාදාබ් ඔහුගෙන් පසු, රජකමට පත් විය. සාලමොන්ගේ පුත් රෙහොබොවම් යූදාහි රජ ව සිටියේ ය. ඔහු රජකමට පත් වන කල හතළිස් එක් වන වියේ පසු විය. ස්වාමින්වහන්සේ ස්වකීය නාමය තබන්නට ඉශ්‍රායෙල් ගෝත්‍ර සියල්ල අතරෙන් තෝරා ගෙන තිබූ පුරවරය වන යෙරුසලමේ ඔහු දාහත් අවුරුද්දක් රජකම් කළේ ය. ඔහුගේ මවගේ නම නාමා ය; ඇය අම්මොනීය කාන්තාවකි. යූදා ජනයා ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි කළේ නපුර ය. ඔවුහු තම පාප මගින් උන්වහන්සේගේ ඊර්ෂ්‍යා සහගත කෝපය ඇවිස්සුවේ, ඔවුන්ගේ සියලු පියවරුන් කර තිබුණාටත් වඩා වැඩියෙනි. තවද ඔවුහු හැම උස් හෙලක් පිට හා අතු පතර විහිදුණු හැම ගහක් යට තමන්ට උස් තැන් පුදසුන් ද රූප ස්තම්භ ද අෂේරා කණු ද පිහිටුවා ගත්හ. දේශය තුළ දේවාල-පිරිමි ගණිකාවන් පවා සිටියහ; ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල්වරුන් ඉදිරියෙන් පන්නා දමා තිබූ ජාතීන්ගේ සියලු පිළිකුල්කම්වල ඔවුහු ගැලුණහ.