1 රාජාවලිය 12:1-30

1 රාජාවලිය 12:1-30 SCV

රෙහොබොවම් ෂෙකෙම් වෙත ගියේ ය. මන්ද සියලු ඉශ්‍රායෙල්වරු ඔහු රජකමට පත් කරන්නට එහි ගොස් සිටියහ. සාලමොන්ගේ මරණය ඇසූ විගස, නෙබාට්ගේ පුත් යෙරොබොවම් ඊජිප්තුවේ සිට පෙරළා ආවේ ය. (මන්ද ඔහු සාලමොන් රජු වෙතින් ඊජිප්තුවට පලා ගොස් තවම එහි සිටියේ ය.) එබැවින් ඔවුහු යෙරොබොවම් කැඳවා යැවූහ. ඔහු මුළු ඉශ්‍රායෙල් සභාව සමඟ රෙහොබොවම් වෙත ගොස්, ඔහුට කතා කොට, “ඔබේ පියා බර වියගහක් අප පිට තැබී ය. එහෙත් දැන් ඒ කර්කශ මෙහෙවර ද ඔහු අප පිට තැබූ බර වියගහ ද සැහැල්ලු කරන්න. එවිට අපි ඔබට මෙහෙ කරන්නෙමු” යි පැවසී ය. රෙහොබොවම් පිළිතුරු දෙමින්, “යන්න, තව දින තුනකින් නැවත මා වෙත එන්නැ” යි පැවසී ය. එබැවින් ජනයා යන්නට ගියහ. ඉන්පසු රෙහොබොවම් රජු තම පියා වූ සාලමොන්ගේ ජීවිත සමයේ ඔහු ඉදිරිපිට සිටි වැඩිහිටියන්ගෙන් උපදෙස් අසමින්, “මෙම ජනතාවට පිළිතුරු දීමට ඔබ මට දෙන දැනමුතුකම කුමක් දැ” යි ඇසී ය. ඔවුහු පිළිතුරු දෙමින්, “අද ඔබ මේ ජනතාවට සේවකයකු වී, ඔවුන්ට මෙහෙ කොට, සතුටුදායී පිළිතුරක් ඔවුන්ට දෙන්නේ නම්, ඔවුන් හැමදාට ම ඔබේ සේවකයින් වනු ඇතැ” යි පැවසූහ. එහෙත් වැඩිහිටියන් තමාට දුන් උපදෙස ප්‍රතික්ෂේප කළ රෙහොබොවම් තමා සමඟ හැදුණු වැඩුණු, තමාට සේවය කරන තරුණයින්ගෙන් උපදෙස් පැතී ය. ඔහු ඔවුන් අමතමින්, “ඔබගේ දැනමුතුකම කුමක් ද? ‘ඔබගේ පියා අප පිට තැබූ වියගහ සැහැල්ලු කරන්නැ’ යි මට පවසන මේ මිනිසුන්ට අප පිළිතුරු දිය යුත්තේ කෙසේ දැ” යි ඇසී ය. ඔහු සමඟ වැඩුණු තරුණයින් ඔහුට පිළිතුරු දෙමින්, “ ‘ඔබේ පියා බර වියගහක් අප පිට තැබී ය. අපගේ වියගහ සැහැල්ලු කරන්නැ’ යි ඔබට පවසන මිනිසුන්ට ඔබ කිව යුත්තේ මෙසේයි. ‘මගේ පියාගේ ඉඟටියට වඩා මගේ සුළැඟිල්ල ලොකු ය. මගේ පියා ඔබ පිට බර වියගහක් තැබී ය. මම එය තවත් බර කරන්නෙමි. මගේ පියා ඔබ හික්මවූයේ කසවලිනි. මා ඔබ හික්මවන්නේ ගෝනුස්සන්ගෙනි’ යි කියන්නැ” යි පැවසූහ. “තුන් වන දින මා වෙත යළි එන්නැ” යි රජු කියා තිබූ පරිදි යෙරොබොවම් සහ මුළු ජනතාව තුන් වන දින රෙහොබොවම් වෙත යළි පැමිණියහ. රජු පරුෂ අන්දමින් ජනයාට පිළිතුරු දුන්නේ වැඩිහිටියන්ගේ උපදෙස ප්‍රතික්ෂේප කරමිනි. තරුණයින්ගේ උපදෙසට අනුව ඔහු ඔවුන් අමතමින්, “මගේ පියා ඔබගේ වියගහ බර කළේ ය. මම එය තවත් බර කරන්නෙමි. මගේ පියා ඔබ හික්මවූයේ කසවලිනි. මා ඔබ හික්මවන්නේ ගෝනුස්සන්ගෙනි” යි පැවසී ය. මෙසේ රජු ජනතාවට සවන් දුන්නේ නැත. මන්ද ස්වාමින්වහන්සේ ෂීලෝනීය අහියා ලවා නෙබාට්ගේ පුත් යෙරොබොවම්ට පවසා තිබූ වචනය සම්පූර්ණ වන පිණිස, මේ ලෙස කාරණා වෙනස් වීම පැමිණියේ ස්වාමින්වහන්සේ වෙතිනි. රජු තමන්ට සවන් දීම ප්‍රතික්ෂේප කළ වග දුටු මුළු ඉශ්‍රායෙල් ජනයා රජුට ප්‍රති උත්තර දෙමින්, “දාවිත් සමඟ අපට ඇති පංගුකාරකම කුමක් ද? යෙස්සේගේ පුතා සමඟ අපට මොන උරුමයක් ද? එම්බා ඉශ්‍රායෙල්, නුඹලාගේ කූඩාරම්වලට යනු! එම්බා දාවිත්! ඔබ ඔබේ ම වංශය බලා ගන්නැ” යි පැවසූහ. මෙසේ ඉශ්‍රායෙල්වරු තම තමන්ගේ කූඩාරම් වෙත ගියහ. එහෙත් රෙහොබොවම්, යූදා නගරවල විසූ ඉශ්‍රායෙල්වරුන් පාලනය කළේ ය. රෙහොබොවම් රජු බැළ මෙහෙවර බාර ව සිටි අදොරාම් යැවී ය. එහෙත් සියලු ඉශ්‍රායෙල්වරු ඔහුට ගල් ගසා මැරූහ. රෙහොබොවම් රජු තම රථයට නැග, බේරී යෙරුසලමට පලා යන්නට සමත් විය. මෙසේ ඉශ්‍රායෙල්වරු අද දවස දක්වා දාවිත්ගේ වංශයට එරෙහිව කැරලි ගසමින් සිටිති. යෙරොබොවම් ආපසු පැමිණ ඇති වග ඇසූ සියලු ඉශ්‍රායෙල්වරු ඔහු කැඳවා යවා, රැස්වීමට ඔහු කැඳවාගෙන අවුත්, මුළු ඉශ්‍රායෙල් සඳහා රජකමට ඔහු පත් කර ගත්හ. යූදා ගෝත්‍ර වංශය පමණක් දාවිත් වංශයට පක්ෂපාතී ව සිටියේ ය. යෙරුසලමට පැමිණි රෙහොබොවම්, ඉශ්‍රායෙල් වංශයට එරෙහිව යුද්ධ කර, සාලමොන්ගේ පුත් රෙහොබොවම්ට යළි රාජ්‍යය අත්කර ගන්නා පිණිස මුළු යූදා ගෝත්‍ර වංශයෙන් හා බෙන්යමින් ගෝත්‍රයෙන් තෝරාගත් රණශූරයින් එක්ලක්ෂ අසූදහසක් එක් රැස් කළේ ය. එහෙත් දෙවියන්වහන්සේගේ වචනය, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වූ ෂෙමායා වෙත පැමිණියේ ය: “සාලමොන්ගේ පුත්, යූදාහි රජු වූ රෙහොබොවම්ටත්, යූදා මුළු වංශයටත්, බෙන්යමින්ටත්, සෙසු ජනයාටත් මෙසේ කියන්න, ‘ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ඔබේ සහෝදරයන් වන ඉශ්‍රායෙල්වරුන්ට එරෙහිව සටනට නො යන්න. ඔබ එකිනෙකා තම තමන්ගේ නිවසට ආපසු යන්න. මන්ද මේ දේ මගෙන් පැමිණියකි.’ ” එබැවින් ඔවුහු ස්වාමින්වහන්සේ නියෝග කර තිබූ පරිද්දෙන්, ස්වාමින්වහන්සේගේ වචනයට කීකරු වී, ආපසු තම නිවෙස් කරා ගියහ. ඉන්පසු යෙරොබොවම්, එප්‍රායිම් කඳුකරයේ ෂෙකෙම් ගොඩ නගා, එහි වාසය කළේ ය. ඔහු එතැනින් පිටත් ව ගොස්, පෙනූවෙල් ගොඩ නැගුවේ ය. යෙරොබොවම් කල්පනා කරමින්, “දැන් මේ රාජ්‍යය දාවිත් වංශය වෙත ආපසු හැරී යන්නට පුළුවන. මේ ජනයා යෙරුසලමේ ස්වාමින්වහන්සේගේ මාලිගයේ යාග පූජා ඔප්පු කරන්නට ගියොත්, ඔවුන් තම ස්වාමියා වන යූදාහි රජ රෙහොබොවම්ට තම පක්ෂපාතීත්වය යළි දක්වනු ඇත. ඔවුහු මා මරා, රෙහොබොවම් රජු වෙත ආපසු හැරී යනු ඇතැ” යි සිතී ය. රජු උපදෙස් ගෙන, රන් වස්සන් දෙදෙනකු සෑදවී ය. ඔහු ජනයාට කතා කොට, “යෙරුසලම වෙත යන්නට නුඹලාට වෙහෙස වැඩියි. එම්බා ඉශ්‍රායෙල්! ඊජිප්තුවෙන් නුඹලා පිටතට ගෙනාවා වූ නුඹලාගේ දෙවිවරු මෙන්න!” යි පැවසී ය. ඔහු එකක් බෙතෙල්හි පිහිටුවා, අනෙකා දාන්හි තැබී ය. මෙය පාපයක් බවට පත් විය; ජනයා ඊට වැඳුම් පිදුම් කරන්නට දාන් දක්වා දුර ගියහ.