1 රාජාවලිය 1:28-40

1 රාජාවලිය 1:28-40 SCV

එවිට දාවිත් රජු, “බැත්ෂෙබා ඇතුළට කැඳවන්නැ” යි කීවේ ය. එබැවින් ඈ රජු අබියසට පැමිණ, ඔහු ඉදිරියේ සිටගත්තා ය. එවිට රජු දිවුරුමක් කරමින්, “හැම විපතකින් ම මා ගැලවූ ස්වාමින්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමයෙන් මා ඔබට කළ දිවුරුම සැබවින් ම අද ඉෂ්ට කරන්නෙමි. ඔබේ පුත් සාලමොන් මට පසුව රජකමට පත් වන්නේ ය. ඔහු මගේ සිංහාසනය මත හිඳ, මගේ තැනට පත් වන්නේ යැ” යි කීවේ ය. එවිට තම මුහුණ බිමට නමා, ආචාර කළ බැත්ෂෙබා, රජු ඉදිරියේ වැඳ, “මා ස්වාමියාණන් වන දාවිත් රජු සදා දිනේවා!” යි පැවසුවා ය. එවිට දාවිත් රජු, “පූජක සාදෝක්, දිවැසිවර නාතාන් හා යෙහෝයාදාගේ පුත්‍ර බෙනායා ඇතුළට කැඳවන්නැ” යි කීවේ ය. ඔවුන් රජු ඉදිරියට පැමිණි කල, රජු ඔවුන් අමතමින්, “ඔබේ ස්වාමියාණන්ගේ සේවකයින් කැඳවාගෙන, මගේ පුත් සාලමොන්, මගේ ම කොටළුවා පිට හිඳුවා, ගීහොන් වෙත ගෙන යන්න. එහිදී පූජක සාදෝක් හා දිවැසිවර නාතාන් ඉශ්‍රායෙල් කෙරෙහි රජු කොට ඔහු ආලේප කරත්වා! ඉන්පසු හොරණෑ පිඹ, ‘සාලමොන් රජු දිනේවා!’ යි කියමින්, ඔල්වරසන් දෙත්වා! ඉන්පසු ඔබ ඔහු කැටුව යා යුතුයි. ඔහු අවුත්, මගේ සිහසුන මත හිඳ, මා වෙනුවට රජකම් කළ යුතුයි. මම ඔහු ඉශ්‍රායෙල් හා යූදා පාලකයා කොට පත් කළෙමි” යි පැවසී ය. යෙහෝයාදාගේ පුත් බෙනායා, රජුට පිළිතුරු දෙමින්, “ආමෙන්! මා ස්වාමියාණන් වන රජුගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ එය ම ප්‍රකාශ කරන සේක්වා! ස්වාමින්වහන්සේ මා ස්වාමියාණන් වන රජතුමා සමඟ සිටි පරිද්දෙන් සාලමොන් සමඟ ද සිට ඔහුගේ සිහසුන මා ස්වාමියාණන් වන දාවිත් රජතුමාගේ සිහසුනට වඩා ශ්‍රේෂ්ඨ කරන සේක්වා!” යි පැවසී ය. එවිට පූජක සාදෝක් ද දිවැසිවර නාතාන් ද යෙහෝයාදාගේ පුත් බෙනායා ද කෙරේතිවරු හා පෙලේතිවරු ද පිටත් ව, දාවිත් රජුගේ කොටළුවා පිට සාලමොන් හිඳුවා, ඔහු පිරිවරා ගීහොන් වෙත ගෙන ගියහ. සාදෝක් පූජකයා ශුද්ධ මණ්ඩපයෙන් තෙල්-අඟ ගෙන, සාලමොන් ආලේප කළේ ය. ඉන්පසු ඔවුහු හොරණෑ හැඬවූහ. මුළු ජනතාව, “සාලමොන් රජු දිගු කල් දිනේවා!” යි කියමින් ඔල්වරසන් දුන්හ. මුළු ජනතාව භූමිය දෙදරුම් කන තරම් හඬින් නළා පිඹිමින්, ප්‍රීති ඝෝෂා කරමින්, ඔහු පසු පස ගියහ.