දාවිත් රජු වියපත් ව, වයස්ගත ව සිටියදී, ඔවුන් පොරෝනවලින් ඔහු වැසූ නමුදු, ඔහු උණුසුම් ව තැබිය නො හැකි විය. එබැවින් ඔහුගේ සේවකයෝ ඔහු අමතා, “රජතුමාට උපස්ථාන කරන්නටත්, සාත්තු කරන්නටත් යොවුන් කන්‍යාවක් සොයන්නට අපට අවසර; අපගේ ස්වාමි රජතුමාට උණුසුම ලැබෙන පිණිස, ඔබේ ළයෙහි සැතපෙන්නටත් ඇයට හැකි යැ” යි පැවසූහ.
ඉන්පසු ඔවුහු සුරූපී තරුණියක ඉශ්‍රායෙල් දේශය පුරා සෙවූහ. ඔවුනට ෂූනම්මීය අබිෂග් හමු වූයෙන්, ඔවුහු රජු වෙත ඇය ගෙන ආහ. ඈ ඉතා සුරූපී තරුණියක වූවා ය; ඈ රජුට සාත්තු සප්පායම් කරමින්, ඔහුට මෙහෙ කළා ය. එහෙත් රජු, ඇය හා කායික ව එක්වූයේ නැත.
මේ අතර හග්ගීත්ගේ පුත් අදොනීයා තමා ම උසස් කර ගෙන, “මම රජවන්නෙමි” යි පැවසී ය; එබැවින් ඔහු තමාට ම අශ්ව-රථ හා අසරුවන් ද තමාට පෙරටුවෙන් දුවන්නට මිනිසුන් පනස්දෙනකු ද සූදානම් කර ගත්තේ ය. “ඔබ මෙසේ හැසිරෙන්නේ මන්දැ?” යි කිසි දිනෙක ඔහුගේ පියා ඔහුගෙන් ප්‍රශ්න කර තිබුණේ නැත. ඔහු ද ඉතා කඩවසම් කෙනකු විය. අබ්සලොම් ළඟට වැඩිමලා ඔහු ය.
අදොනීයා, සෙරූයාගේ පුත් යෝවාබ් හා පූජක අබියාතර් සමඟ සාකච්ඡා කළේ ය. ඔවුහු ඔහුට සහයෝගය දුන්හ. එහෙත් පූජක සාදෝක්, යෙහෝයාදාගේ පුත් බෙනායා, දිවැසිවර නාතාන්, ෂිමෙයි හා රේයි ද දාවිත්ගේ විශේෂ ආරක්ෂක කණ්ඩායම ද අදොනීයාට එකතු වුණේ නැත.
ඉන්පසු අදොනීයා ඒන්-රොගේල් සමීපයේ සොහෙලෙත් ගල ළඟ බැටළුවන් ද ගවයින් ද තර වස්සන් ද යාග කළේ ය. ඔහු රජුගේ පුතුන් වූ තමාගේ සහෝදරයින් සියලු දෙනාට ද යූදාහි රාජකීය නිලධාරීන් වූ සියලු දෙනාට ද ඇරියුම් කළේ ය. එහෙත් ඔහු දිවැසිවර නාතාන්ට, බෙනායාට, විශේෂ ආරක්ෂක කණ්ඩායමට හෝ තම සහෝදර සාලමොන්ට ඇරියුම් කළේ නැත.
එවිට නාතාන්, සාලමොන්ගේ මව වූ බැත්ෂෙබා අමතා, “අපගේ ස්වාමියාණන් වන දාවිත් නො දැන, හග්ගීත්ගේ පුත් අදොනීයා රජකමට පත් වූ වග ඔබට සැල වූයේ නැති ද? එබැවින් දැන් ඔබේ ම ජීවිතයත්, ඔබේ පුත් සාලමොන්ගේ ජීවිතයත් ගලවා ගැනීමට ඔබට අවවාදයක් දෙන්නට ඉඩ දෙන්න. යන්න, ගොස් දාවිත් රජුට කතා කොට මෙසේ කියන්න: ‘මා ස්වාමියාණන් වන රජතුමනි, ඔබ ඔබගේ දාසියට ශපථ කරමින්, “සැබවින් ම ඔබේ පුත් සාලමොන් මට පසුව රජකමට පත් වන්නේ ය; ඔහු මගේ සිහසුන මත හිඳගන්නේ යැ” යි දිවුරුවා නො වේ ද? එසේ නම් අදොනීයා රජ වී සිටින්නේ මන්දැ?’ යි අසන්න. ඔබ රජු සමඟ එසේ කතා කරමින් සිටින අතර මම ඇතුළට ඇවිදින්, ඔබ කී දෑ ස්ථිර කරන්නෙමි” යි පැවසී ය.
එබැවින් බැත්ෂෙබා, රජු බැහැ දකින්නට ඔහුගේ කාමරයට ගියා ය. රජු සිටියේ ඉතා වියපත් ව ය. ෂූනම්මීය අබිෂග් රජුට ආවතේව කරමින් සිටියා ය. බැත්ෂෙබා නැමී, රජුට ආචාර කර, වැන්දා ය.
එවිට රජු, “ඔබට මොනවද ඕනෑ?” යි ඇසී ය.
ඈ ඔහුට පිළිතුරු දෙමින්, “මා ස්වාමිනී, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමයෙන් ඔබේ දාසියට ඔබ දිවුරමින්, ‘ඔබේ පුත් සාලමොන් මට පසුව රජකමට පත් වන්නේ ය. ඔහු මගේ සිහසුන මත හිඳගනු ඇතැ’ යි කීවා නො වේ ද? එහෙත් දැන් අන්න, අදොනීයා රජ වෙලා! ඒත් ඒ වග මා ස්වාමියාණන් වන රජතුමා දන්නේ නැත. ඔහු ගවයින්, තර වස්සන් හා බැටළුවන් මහ ගණනක් යාග කර, රජුගේ පුතුන් සියලු දෙනාටත්, පූජක අබියාතර්ටත්, හමුදාපති යෝවාබ්ටත් ඇරියුම් කර ඇති නමුත්, ඔබේ සේවක සාලමොන්ට ඇරියුම් කර නැත. මා ස්වාමියාණන් වන රජතුමාගෙන් පසු සිංහාසනාරූඪ විය යුත්තේ කවුරුන්දැයි ඔබගෙන් දැනගන්නට අන්න! ඉශ්‍රායෙල් හැමදෙනාගේ ම ඇස් ඔබතුමා දෙස යොමු වී තිබේ. එසේ නූනහොත් මා ස්වාමියාණන් වන රජතුමා තම පියවරුන් සමඟ සැතපුණු වහාම, මා ද මා පුත් සාලමොන් ද වරදකරුවන් සේ සලකනු ලබනවා ඇතැ” යි පැවසුවා ය.
ඇය රජු සමඟ කතා කරමින් සිටියදී, දිවැසිවර නාතාන් ද ඇතුළට ආයේ ය. “දිවැසිවර නාතාන් පැමිණ ඇතැ” යි රජුට දන්වන ලදී. එවිට ඔහු රජු ඉදිරියට ගොස්, තම මුහුණ බිමට නමා, රජුට වැන්දේ ය.
නාතාන් කතා කොට, “මා ස්වාමි රජතුමනි, ඔබගෙන් පසු අදොනීයා රජ විය යුතු වගත්, ඔහු ඔබගේ සිංහාසනයේ හිඳ ගන්නා වගත් රජතුමා ප්‍රකාශ කර තිබුණේ ද? අද ඔහු ගොස්, ගවයින්, තර වස්සන් හා බැටළුවන් විශාල ගණනක් යාග කර, රජුගේ සියලු පුතුන්ටත්, හමුදා අණ දෙන්නන්ට හා පූජක අබියාතර්ටත් ඇරියුම් කර තිබේ. අන්න දැන්, ඔවුන්, ‘අදොනීයා රජු දිනේවා!’ යි කියමින් ඔහු සමඟ කමින්-බොමින්. එහෙත් ඔහු ඔබගේ සේවක මටත්, පූජක සාදෝක්ටත්, යෙහෝයාදාගේ පුත්‍ර බෙනායාටත්, ඔබගේ සේවක සාලමොන්ටත් ඇරියුම් කළේ නැත. මා ස්වාමි රජතුමාගෙන් පසුව සිංහාසනාරූඪ විය යුත්තේ කවරෙක්දැයි ඔබගේ සේවකයින්ට නො දන්වා මා ස්වාමි රජතුමා එසේ කළාවත් දැ?” යි ඇසී ය.
එවිට දාවිත් රජු, “බැත්ෂෙබා ඇතුළට කැඳවන්නැ” යි කීවේ ය. එබැවින් ඈ රජු අබියසට පැමිණ, ඔහු ඉදිරියේ සිටගත්තා ය.
එවිට රජු දිවුරුමක් කරමින්, “හැම විපතකින් ම මා ගැලවූ ස්වාමින්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමයෙන් මා ඔබට කළ දිවුරුම සැබවින් ම අද ඉෂ්ට කරන්නෙමි. ඔබේ පුත් සාලමොන් මට පසුව රජකමට පත් වන්නේ ය. ඔහු මගේ සිංහාසනය මත හිඳ, මගේ තැනට පත් වන්නේ යැ” යි කීවේ ය.
එවිට තම මුහුණ බිමට නමා, ආචාර කළ බැත්ෂෙබා, රජු ඉදිරියේ වැඳ, “මා ස්වාමියාණන් වන දාවිත් රජු සදා දිනේවා!” යි පැවසුවා ය.
එවිට දාවිත් රජු, “පූජක සාදෝක්, දිවැසිවර නාතාන් හා යෙහෝයාදාගේ පුත්‍ර බෙනායා ඇතුළට කැඳවන්නැ” යි කීවේ ය. ඔවුන් රජු ඉදිරියට පැමිණි කල, රජු ඔවුන් අමතමින්, “ඔබේ ස්වාමියාණන්ගේ සේවකයින් කැඳවාගෙන, මගේ පුත් සාලමොන්, මගේ ම කොටළුවා පිට හිඳුවා, ගීහොන් වෙත ගෙන යන්න. එහිදී පූජක සාදෝක් හා දිවැසිවර නාතාන් ඉශ්‍රායෙල් කෙරෙහි රජු කොට ඔහු ආලේප කරත්වා! ඉන්පසු හොරණෑ පිඹ, ‘සාලමොන් රජු දිනේවා!’ යි කියමින්, ඔල්වරසන් දෙත්වා! ඉන්පසු ඔබ ඔහු කැටුව යා යුතුයි. ඔහු අවුත්, මගේ සිහසුන මත හිඳ, මා වෙනුවට රජකම් කළ යුතුයි. මම ඔහු ඉශ්‍රායෙල් හා යූදා පාලකයා කොට පත් කළෙමි” යි පැවසී ය.
යෙහෝයාදාගේ පුත් බෙනායා, රජුට පිළිතුරු දෙමින්, “ආමෙන්! මා ස්වාමියාණන් වන රජුගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ එය ම ප්‍රකාශ කරන සේක්වා! ස්වාමින්වහන්සේ මා ස්වාමියාණන් වන රජතුමා සමඟ සිටි පරිද්දෙන් සාලමොන් සමඟ ද සිට ඔහුගේ සිහසුන මා ස්වාමියාණන් වන දාවිත් රජතුමාගේ සිහසුනට වඩා ශ්‍රේෂ්ඨ කරන සේක්වා!” යි පැවසී ය.
එවිට පූජක සාදෝක් ද දිවැසිවර නාතාන් ද යෙහෝයාදාගේ පුත් බෙනායා ද කෙරේතිවරු හා පෙලේතිවරු ද පිටත් ව, දාවිත් රජුගේ කොටළුවා පිට සාලමොන් හිඳුවා, ඔහු පිරිවරා ගීහොන් වෙත ගෙන ගියහ. සාදෝක් පූජකයා ශුද්ධ මණ්ඩපයෙන් තෙල්-අඟ ගෙන, සාලමොන් ආලේප කළේ ය. ඉන්පසු ඔවුහු හොරණෑ හැඬවූහ. මුළු ජනතාව, “සාලමොන් රජු දිගු කල් දිනේවා!” යි කියමින් ඔල්වරසන් දුන්හ. මුළු ජනතාව භූමිය දෙදරුම් කන තරම් හඬින් නළා පිඹිමින්, ප්‍රීති ඝෝෂා කරමින්, ඔහු පසු පස ගියහ.
අදොනීයා හා ඔහු සමඟ සිටි සියලු ආරාධිතයින් සිය භෝජන සංග්‍රහය නිම කරන විට, ඔවුන්ට එය ඇසිණි. හොරණෑ හඬ ඇසූ යෝවාබ්, “මොකක් ද ඒ පුරවරෙන් ඇහෙන ඝෝෂාවේ තේරුම යැ?” යි ඇසී ය.
ඔහු එසේ පවසමින් සිටියදී ම, පූජක අබියාතර්ගේ පුත් යොනාතාන් පැමිණියේ ය. එවිට අදොනීයා, “එන්න ඇතුළට; ඔබ විශ්වාස මිනිසෙක්; ඔබ ගෙනෙන්නේ සුබ ආරංචියක් ම යැ” යි පැවසී ය.
“ඇත්තට ම එහෙම නො වෙයි!” පිළිතුරු දුන් යොනාතාන්, “අපගේ ස්වාමියාණන් වන දාවිත් රජු, රජකමට සාලමොන් පත් කරලා. රජු, ඔහු සමඟ සාදෝක් පූජකයා ද නාතාන් දිවැසිවරයා ද යෙහෝයාදාගේ පුත්‍ර බෙනායා ද කෙරේතිවරුන් හා පෙලේතිවරුන් ද යැවුවා. ඔවුන් ඔහු නංවාගෙන ගියේ රජුගේ කොටළුවා පිටයි. ගීහොන්හි දී රජකමට ඔහු ආලේප කළේ සාදෝක් පූජකයා හා නාතාන් දිවැසිවරයායි; එතැනින් පිටත් වූ ඔවුන් පුරවරය රැව් පිළිරැව් දෙවමින් නැගූ ජය ඝෝෂා හඬයි දැන් ඔබට ඇසුණේ. දැන් සාලමොන් රාජකීය සිංහාසනයේ අසුන් අරගෙන. එපමණක් නො වෙයි, අපේ ස්වාමියාණන් වන දාවිත් රජුට ප්‍රීතිය ප්‍රකාශ කරන්නට ආ රාජකීය නිලධාරීන් ඔහුට කීවේ, ‘ඔබේ දෙවියන්වහන්සේ ඔබේ නාමයට වඩා සාලමොන්ගේ නාමය බොහෝ කීර්තිමත් වන්නටත්, ඔබට වඩා ඔහුගේ සිහසුන ශ්‍රේෂ්ඨ වන්නටත් සලසන සේක්වා!’ කියායි. එවිට රජු තම සයනය මත නමස්කාර පූර්වක ව හිස නමමින්, කීවේ, ‘අද දවසේ මගේ ම ඇස්වලින් දකින්නට මගේ සිහසුනේ හිඳගන්නට කෙනකු දුන් ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ප්‍රශංසා වේවා!’ කියායි” පැවසී ය.
එවිට අදොනීයාගේ සියලු ආරාධිතයෝ තැති ගෙන, නැගිට, විසිර ගියහ. එහෙත් අදොනීයා, සාලමොන්ට බියෙන් නැගිට ගොස්, පූජාසනයේ අං අල්ලා ගත්තේ ය. එවිට, “අදොනීයා, සාලමොන්ට භයෙන් පූජාසනයේ අං අල්ලාගෙන, ‘සාලමොන් රජු තම සේවකයා කඩුවෙන් නො මරන වගට අද දවසේ මට දිවුරත්වා’ කියා කියතැ” යි සාලමොන්ට දන්වන ලදී.
සාලමොන් ඊට ප්‍රතිචාර දක්වමින්, “තමා විශ්වසනීය මිනිසකු වග ඔහු පෙන්වන්නේ නම්, ඔහුගේ හිස කෙසකුදු බිම වැටෙන්නේ නැත; එහෙත් ඔහු තුළ නපුර හමු වුවහොත් ඔහු මරණයට පත් වනු ඇතැ” යි පැවසී ය. එවිට සාලමොන් රජු මිනිසුන් යැවුවෙන්, ඔවුහු පූජාසනය වෙතින් ඔහු ගෙන ආහ. අදොනීයා අවුත්, සාලමොන් රජුට වැන්දේ ය. “ඔබේ නිවසට යන්නැ” යි සාලමොන් පැවසී ය.