1 යොහන් 3

3
1අප දෙවියන්වහන්සේගේ දරුවෝ යයි අමතනු ලබන්නට තරම් කෙතරම් විශිෂ්ට ප්‍රේමයක් පියාණන්වහන්සේ අපට දක්වා ඇද්දැයි බලන්න. අප දරුවන් ම ය! ලෝකයා අප නො හඳුනන්නේ, ඔවුන් දෙවියන්වහන්සේ නො හඳුනන බැවිනි. 2ප්‍රේමණීයයනි, දැන් අප දෙවියන්වහන්සේගේ දරුවන් ය; අප කෙබඳු අය වේ දැයි තවමත් ප්‍රකාශ වී නැත. එහෙත් උන්වහන්සේ ප්‍රකාශ වන කල, අපත් උන්වහන්සේ හා සමාන වන වග අපි දනිමු. මන්ද උන්වහන්සේ සිටින ලෙස ම අපි උන්වහන්සේ දකින්නෙමු. 3මෙලෙස බලාපොරොත්තු තබන හැම කෙනෙක් ම තමන් පවිත්‍ර කර ගන්නේ, උන්වහන්සේ පවිත්‍ර ව සිටින පරිද්දෙනි.
4පව් කරන සැවොම නොපනත්කම් කරති; පාපය යනු නොපනත්කම ය. 5උන්වහන්සේ ප්‍රකාශ වුණේ පාපය දුරු කිරීමට බව ඔබ දන්නහු ය; උන්වහන්සේ තුළ කිසි පාපයක් නැත. 6උන්වහන්සේ තුළ පැවත සිටින කිසිවකු පව් කරන්නේ නැත. දිගට ම පව් කරන කවරකු වුව උන්වහන්සේ දැකලාවත්, හැඳිනගෙනවත් නැත.
7ප්‍රිය දරුවනි, කිසිවකු ඔබ නො රවටත්වා; උන්වහන්සේ ධර්මිෂ්ඨ සේ ම, ධර්මිෂ්ඨකම් කරන්නා ධර්මිෂ්ඨ ය. 8පාප ක්‍රියා කරන්නා අයිති යක්ෂයාට ය. මන්ද යක්ෂයා පටන් ගැන්මේ සිට ම පව්කරන්නෙකි. දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ප්‍රකාශ වීමේ හේතුව, යක්ෂයාගේ ක්‍රියා විනාශ කිරීම ය. 9දෙවියන්වහන්සේගෙන් ඉපිද සිටින කිසිවකු දිගට ම පව් කරන්නේ නැත. මන්ද දෙවියන්වහන්සේගේ බීජය ඔහු තුළ පවතී; දෙවියන්වහන්සේගෙන් ම ඉපිද සිටින බැවින් පව් කිරීමට ඔහුට නුපුළුවන. 10දෙවියන්වහන්සේගේ දරුවන් කවුරු ද, යක්ෂයාගේ දරුවන් කවුරු ද යන්න පැහැදිලි ව පෙනෙන්නේ මෙයිනි. ධර්මිෂ්ඨකම් නො කරන්නා දෙවියන්වහන්සේගෙන් නො වේ; තම සහෝදරයාට ප්‍රේම නො කරන්නා ද එසේ ම ය.
ප්‍රේමය සහ වෛරය ගැන
11මුල පටන් ඔබ ඇසූ පණිවුඩය, අප එකිනෙකාට ප්‍රේම කළ යුතු ය යන්නයි. 12නපුරාට අයත් ව, තම සහෝදරයා මැරූ කායින්ට අප සමාන විය යුතු නැත. ඔහු එසේ මරා දැමුවේ ඇයි? ඊට හේතුව ඔහුගේ ක්‍රියා දුෂ්ට වූ නිසාත්, ඔහුගේ සහෝදරයාගේ ක්‍රියා ධර්මිෂ්ඨ වූ නිසාත් ය. 13සහෝදරයිනි, ලෝකයා ඔබට වෛර වන කල, පුදුම නො වන්න. 14අප දන්නා පරිදි අපි මරණයෙන් එතෙර ව ජීවනයට ඇතුල් ව සිටින්නෙමු; මන්ද අපි සහෝදරයනට ප්‍රේම කරන්නෙමු. ප්‍රේම නො කරන කවුරුන් වුව මරණයේ රැඳී සිටී. 15තම සහෝදරයාට වෛර කරන්නා මිනී මරුවෙකි; කිසි මිනී මරුවකු තුළ සදාතන ජීවනය පැවත සිටින්නේ නැති බව ඔබ දනී.
16අප ප්‍රේමය හැඳින ගන්නේ මෙයිනි; එනම්, උන්වහන්සේ අප උදෙසා සිය ජීවිතය දීම මගිනි. අප ද අප සහෝදරයින් උදෙසා ජීවිතය දිය යුතු ව ඇත. 17ලෞකික ධනය හිමි කෙනෙක් තම සහෝදරයාගේ අග හිඟකම් දැක, ඔහු ගැන තම හදවත වසා ගනී නම්, දෙවියන්වහන්සේගේ ප්‍රේමය ඔහු තුළ පවතින්නේ කෙසේ ද? 18ප්‍රිය දරුවනි, වචනයෙන් හා කතාවෙන් නො ව ක්‍රියාවෙන් හා සත්‍යයෙන් ප්‍රේම කරමු.
19අප සත්‍යයට අයත් බව දැනගන්නේත්, උන්වහන්සේ ඉදිරියේ අප හදවතේ සහතිකයක් ඇති කරගන්නේත් මෙලෙසිනි; 20මන්ද අප හදවත් අපට දෝෂාරෝපණ කරන කවර විටෙක වුව, දෙවියන්වහන්සේ අප හදවත්වලට වඩා උතුම් ය; උන්වහන්සේ සියලු දේ ම දන්නා සේක. 21ප්‍රේමණීයයනි, අප හදවත අපට දොස් පවරන්නේ නැති නම්, දෙවියන්වහන්සේ ඉදිරියේ නිසැකකමක් අපට තිබේ. 22එවිට අප ඉල්ලන කවර දෙයක් වුව උන්වහන්සේගෙන් අපට ලැබේ. මන්ද අප උන්වහන්සේගේ ආඥා පිළිපදින බැවින් හා උන්වහන්සේ ප්‍රිය මනාප දේ කරන බැවිනි. 23මෙයයි උන්වහන්සේගේ ආඥාව: උන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය අප අදහා ගැනීමත්, උන්වහන්සේ අපට අණ කළ පරිදි එකිනෙකාට ප්‍රේම කිරීමත් ය. 24උන්වහන්සේගේ ආඥා පිළිපදින්නෝ, උන්වහන්සේ තුළ පැවත සිටිති. උන්වහන්සේ ද ඔවුන් තුළ පැවත සිටිති. උන්වහන්සේ අප තුළ පැවත සිටින බව අප දැනගන්නේ මෙයිනි; උන්වහන්සේ ම අපට දුන් ආත්මයාණන්වහන්සේ මගිනි.

දැනට තෝරාගෙන ඇත:

1 යොහන් 3: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න