1 කොරින්ති 2:7-11

1 කොරින්ති 2:7-11 SCV

අප කතා කරන්නේ අපගේ තේජස උදෙසා දෙවියන්වහන්සේ යුග යුගවලට කලින් නියම කරන ලද දෙවියන්වහන්සේගේ රහසිගත අබිරහස් ප්‍රඥාව ය. මේ යුගයේ බලධාරීන්ගෙන් කිසිවකු එය වටහා ගත්තේ නැත. මන්ද, ඔවුන් එය වටහා ගත්තා නම්, ඔවුන් තේජසේ ස්වාමින්වහන්සේ කුරුසිපත් කරන්නේ නැත. එහෙත් ලියවී ඇති පරිදි: “තමන්වහන්සේට ප්‍රේම කරන්නවුන්ට දෙවියන්වහන්සේ පිළියෙල කළ දෑ, කිසි ඇසකට නො පෙනිණි; කිසි කනකට නො ඇසිණි; කිසි සිතකට නො සිතිණි.” එහෙත් දෙවියන්වහන්සේ මේ දෑ ආත්මයාණන්වහන්සේ මගින් අපට එළිදරවු කළ සේක. මන්ද, ආත්මයාණන්වහන්සේ සියලු දේ ම, එනම් දෙවියන්වහන්සේගේ ගැඹුරු කරුණු පවා විමසන සේක. මනුෂ්‍යාගේ සිතුවිලි ඔහු තුළ ඇති ඔහුගේ ම ආත්මය මිස අන් කවරෙක් දනිත් ද? එලෙස ම දෙවියන්වහන්සේගේ සිතුවිලි උන්වහන්සේගේ ආත්මයාණන් හැර, අන් කිසිවකු දන්නේ නැත.