1 කොරින්ති 14:1-20

1 කොරින්ති 14:1-20 SCV

ප්‍රේමය ලුහුබැඳ යන්න. ආත්මික දීමනා ලබන්නට අතිශය ආශා වන්න. දිවැස් වැකි පැවසීමට වෙසෙසින් ආශා වන්න. මන්ද අන්‍ය භාෂා කථනයෙහි යෙදෙන අය කතා කරන්නේ මිනිසුනට නො ව දෙවියන්වහන්සේට ය. මන්ද ඔහු පවසන දෑ කිසිවකුටත් වැටහෙන්නේ නැත; ඔහු ආත්මයාණන් මගින් අබිරහස් පවසයි. එහෙත් දිවැස් වැකි පවසන්නා අන්‍යයන්ගේ අභිවෘද්ධියට, ධෛර්යවත් කිරීමට හා සැනසීමට මිනිසුනට කතා කරයි. අන්‍ය-භාෂාවකින් කතා කරන්නා තමාගේ අභිවෘද්ධිය සලසා ගනී. එහෙත් දිවැස් වැකි පවසන්නා සභාවේ අභිවෘද්ධිය සලසයි. ඔබ සැවොම අන්‍ය භාෂා කතා කරනවාට කැමැත්තෙමි; එහෙත් ඔබ දිවැස් වැකි පවසනවාට ඊට බොහෝ වැඩියෙන් කැමැත්තෙමි. සභාවේ අභිවෘද්ධිය පිණිස අන්‍ය භාෂා කතා කරන්නා පවසන දෑ, අන් අයට පහදා දෙන්නේ නම් මිස, දිවැස් වැකි පවසන්නා ඔහුට වඩා උතුම් ය. සහෝදරයිනි, මා ඔබ වෙත පැමිණ, යම් එළිදරවුවක් හෝ දැනගැන්මක් හෝ දිවැස් වැකි හෝ ඉගැන්වීමක් හෝ නො කර, අන්‍ය භාෂා කතා කළහොත්, මා ඔබට කවර සෙතක් සලසා ද? නළාව හෝ වීණාව වැනි අප්‍රාණික සංගීත භාණ්ඩයක් පැහැදිලි ස්වරයක් වාදන නො කෙරේ නම්, වැයෙන්නේ කවර තනුවක්දැයි කෙනකු හැඳින ගන්නේ කෙසේ ද? එසේ ම යුද හොරණෑව අනුමාන නාදයකින් හැඬ වේ නම්, සටනට සැරසෙන්නේ කවුරු ද? ඔබ පිළිබඳවත් එසේ ම ය; ඔබගේ දිවෙන් ඔබ තේරුම් ගත හැකි වචන කතා නො කළහොත්, කුමක් කියන්නේදැයි කෙනකු දැනගන්නේ කෙසේ ද? මන්ද ඔබ සුළඟට කතා කරනවා වැන්න. බොහෝ විවිධ භාෂා ලෝකයේ තිබේ. ඉන් කවර බසක් හෝ අරුත් රහිත නැත. යමෙක් කතා කරන භාෂාව මට වැටහෙන්නේ නැති නම්, ඒ කථිකයාට මා විදෙස්සෙකි. කථිකයා ද මට විදෙස්සෙකි. ඔබ පිළිබඳවත් එසේ ම ය; ආත්මයාණන්වහන්සේගේ ප්‍රකාශවීම් ලබන්නට දැඩි ආශාවෙන් පසු වන ඔබ, සභාවේ අභිවෘද්ධිය උසස් කිරීමට උත්සුක වන්න. මෙනිසා, අන්‍ය භාෂා කතා කරන්නා අරුත පහදා දීමේ වරය ද ඉල්ලා යාච්ඤා කළ යුතු ය. මන්ද මා අන්‍ය-භාෂාවකින් යාච්ඤා කරන කල, මගේ ආත්මය යාච්ඤා කරන නමුත්, මගේ මනසට පලක් නැත. මම කුමක් කරම් ද? මගේ ආත්මයෙන් යාච්ඤා කරමි; මගේ මනසින් ද යාච්ඤා කරමි. මගේ ආත්මයෙන් පැසසුම් ගී ගයමි; මගේ මනසින් ද ගී ගයමි. ඔබ ආත්මයෙන් ස්තුති දෙන විට කෙනකුට ඔබ කියන දේ නො වැටහේ නම්, ඔබගේ ස්තුති දීමට ඔහු ආමෙන් කියන්නේ කොහොම ද? ඔබ සිතේ හැටියට ස්තුති දුන්නා විය හැක. එහෙත්, අනෙකාගේ වර්ධනයක් සිදු නො වේ. ඔබ හැමට වඩා මා අන්‍ය භාෂා කතා කරන බැවින් මම දෙවියන්වහන්සේට ස්තුති කරමි. එහෙත් සභාවකදී අන්‍ය-භාෂාවෙන් වචන දස දහසක් පවසනවාට වඩා, අන්‍යයන්ට උපදෙස් පිණිස, මගේ මනසින් වචන පහක් කතා කරනු කැමැත්තෙමි. සහෝදරයිනි, ළමයින් මෙන් සිතීම නවතන්න. නපුර සම්බන්ධ ව බිළිඳුන් වන්න; සිතුවිලිවලින් වැඩිහිටියන් වන්න.

මෙයට අදාළ වීඩියෝ

1 කොරින්ති 14:1-20 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය