1 ලේකම් 4:1-23

1 ලේකම් 4:1-23 SCV

යූදාගේ පුත්‍රයෝ: පෙරෙස්, හෙස්රොන්, කර්මී, හූර් හා ෂෝබාල් ය. ෂෝබාල්ගේ පුත් රෙයායා, යහත්ගේ පියා ය. යහත්, අහූමයිගේ හා ලාහද්ගේ පියා ය. සොරාතිවරුන්ගේ පෙළපත් ඔවුහු ය. ඒටාම් පියා වූයේ මොවුන්ට ය: යෙස්රෙයෙල්, ඉෂ්මා හා ඉද්බාෂ් ය. ඔවුන්ගේ සහෝදරියගේ නම හස්සෙලෙල්පෝනී ය. පෙනූවෙල්, ගෙදෝර්ගේ පියා ය. ඒසෙර්, හූෂාගේ පියා ය. ඔවුහු එෆ්‍රාතාගේ කුලුඳුල් පුතා ද බෙත්ලෙහෙම්ගේ පියා ද වූ හූර්ගෙන් පැවත ආහ. තෙකෝවාගේ පියා වන අෂ්හූර්ට හෙලෙයා හා නාරා නම් භාර්යාවන් දෙදෙනෙක් සිටියහ. නාරා ඔහුට අහුස්සාම් ද හේෆෙර් ද තේමෙනි ද හා-අහෂ්තාරි ද බිහි කළා ය. ඔවුහු නාරාගේ පුත්‍රයෝ ය. හෙලෙයාගේ පුත්‍රයෝ: සෙරෙත්, සොහර්, එත්නාන් හා කෝස් ය. ඔහු ආනූබ්ගේ ද හස්-සොබේබාගේ ද හාරූම්ගේ පුත් අහර්හේල්ගේ පෙළපත්වල ද පියා ය. යාබේස් තම සහෝදරයිනට වඩා ගරු කටයුතු කෙනෙක් විය. ඔහුගේ මව, “මම වේදනාවෙන් යුතු ව ඔහු බිහි කළෙමි” යි කියා, යාබේස් යන නම ඔහුට තැබුවා ය. යාබේස්, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේට යාච්ඤා කරමින්, “අහෝ ඔබවහන්සේ මට ආශිර්වාද කර, මගේ දේශ සීමාව විශාල කරන සේක්වා! ඔබවහන්සේගේ හස්තය මා සමඟ වේවා! මට වේදනා නො පැමිණෙන පිණිස, උපද්‍රවයෙන් මා ආරක්ෂා කරන සේක්වා!” යි කී ය. දෙවියන්වහන්සේ ඔහුගේ අයැදුම ඉටු කළ සේක. ෂූහාගේ සහෝදර කෙලූබ්, මෙහීර්ගේ පියා ය. ඔහු එෂ්තෝන්ගේ පියා ය. එෂ්තෝන්, බෙත්-රාෆා, පාසේයා හා ඊර්-නාහාෂ්ගේ පියා වූ තෙහින්නාගේ පියා ය. ඔවුහු රේකාහි මිනිස්සු ය. කෙනස්ගේ පුත්‍රයෝ: ඔත්නියෙල් හා සෙරායා ය. ඔත්නියෙල්ගේ පුත්‍රයෝ: හතත් හා මෙයෝනොතයි ය. මෙයෝනොතයි, ඔෆ්‍රාගේ පියා ය. සෙරායා, ගේ-හරාෂීම්හි පියා වන යෝවාබ්ගේ පියා ය. එය එසේ හැඳින්වූයේ එහි ජනයා නිපුණ ශිල්පීන් වූ බැවිනි. යෙෆුන්නෙගේ පුත් කාලෙබ්ගේ පුත්‍රයෝ: ඊරු, ඒලා හා නාම් ය. ඒලාගේ පුත්‍රයා: කෙනස් ය. යෙහල්ලෙලෙල්ගේ පුත්‍රයෝ: සීෆ්, සීෆා, තීරියා හා අසරේල් ය. එස්රාගේ පුත්‍රයෝ: යෙතෙර්, මෙරෙද්, ඒෆෙර් හා යාලොන් ය. මෙ‍රෙද්ගේ බිරියන්ගෙන් කෙනෙක් මිරියාම්, ෂම්මයි හා එෂ්තෙමොවාගේ පියා වූ ඉෂ්බා බිහි කළා ය. ඔවුහු මෙරෙද් විවාහ කර ගත් පාරාවෝගේ දියණිය ද වූ බිතියාගේ දරුවෝ ය. ඔහුගේ යුදෙව් ගෝත්‍රික බිරිඳ, ගෙදෝර්ගේ පියා වන යෙරෙද් ද සෝකෝගේ පියා වන හෙබෙර් ද සානෝවාගේ පියා වන යෙකූතියෙල් ද බිහි කළා ය. නහම්ගේ සොහොයුරියගේ හෙවත් හෝදීයාගේ බිරිඳගේ පුත්‍රයෝ: ගර්මීය කෙයීලාගේ පියා හා මාකාතීය එෂ්තෙමොවා ය. ෂීමොන්ගේ පුත්‍රයෝ: අම්නෝන්, රින්නා, බෙන්-හානාන් හා තීලොන් ය. ඉෂීගේ පුත්‍රයෝ: සෝහේත් හා බෙන්-සෝහෙත් ය. යූදාගේ පුත් ෂේලාගේ පුත්‍රයෝ: ලේකාගේ පියා වූ ඒර් ද මාරේෂාගේ පියා වූ ලාදා ද බෙත්-අෂ්බෙයාහි හණ පිළි ශිල්පීය පෙළපත් ද යෝකීම් ද කොසේබාහි මිනිසුන් ද මෝවබ්හි රජකම් කළ යෝවාෂ් හා සාරාෆ් ද යාෂුබි-ලෙහෙම් ද යන අයයි. මේ වාර්තා ඉපැරණි ය. නෙටායීම්හි ද ගෙදේරාහි ද වාසය කළ ඔවුහු කුඹල්කරුවෝ ය. ඔවුහු එහි රජු හා වාසය කරමින්, ඔහුට මෙහෙ කළෝ ය.

මෙයට අදාළ වීඩියෝ