1 ලේකම් 14
14
දාවිත්ගේ පිය පෙළපත
1තවද තීර්හි රජු වූ හීරාම්, දාවිත්ට මන්දිරයක් ඉදිකරන පිණිස, දේවදාර කොටන් ද පෙදරේරුවන් හා ලී වඩුවන් ද සමඟ පණිවුඩකරුවන් ද ඔහු වෙත එවී ය. 2ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් කෙරෙහි රජු වශයෙන් තමා ස්ථාපිත කර ඇති වගත්, උන්වහන්සේගේ ජනතාව වන ඉශ්‍රායෙල් උදෙසා තම රාජ්‍යය ඉතා උසස් කොට ඇති වගත් දාවිත් එවිට වටහා ගත්තේ ය.
3යෙරුසලමෙහි දී තවත් භාර්යාවන් ලබා ගත් දාවිත්, බොහෝ පුතුන්ගේ ද දූවරුන්ගේ ද පියා බවට පත් විය. 4යෙරුසලමේදී ඔහුට උපන් දරුවන්ගේ නාම මෙසේ ය: ෂම්මුවා, ෂෝබාබ්, නාතාන්, සාලමොන්, 5ඉබ්හාර්, එලිෂූවා, එල්පෙලෙත්, 6නොගා, නෙෆෙග්, යාෆියා, 7එලිෂාමා, බෙයෙලියාදා#14:7 බෙයෙලියාදා හෙවත් එලියාදා හා එලිෆෙලෙත් ය.
පිලිස්තිවරුන් පැරදවීම
8දාවිත් මුළු ඉශ්‍රායෙල් කෙරෙහි රජු වශයෙන් ආලේප කර ඇති වග පිලිස්තිවරුන් ඇසූ කල, ඔවුහු මුළු හමුදාව සමඟ ඔහු සොයන්නට පිටත් ව ආහ. එහෙත් දාවිත් ඒ අසා, ඔවුන්ට එරෙහිව පිටත් ව ගියේ ය. 9මේ අතර පිලිස්තිවරු අවුත්, රෙෆායිවරුන්ගේ මිටියාවත කොල්ලකා තිබිණි. 10එබැවින් දාවිත් දෙවියන්වහන්සේගෙන් විචාරමින්, “මා ගොස්, පිලිස්තිවරුන්ට පහර දෙන්න ද? ඔබවහන්සේ මා අතට ඔවුන් හසුකර දෙන සේක් දැ?” යි ඇසී ය.
ස්වාමින්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “යන්න! මම ඔවුන් ඔබ අතට හසුකර දෙන්නෙමි” යි පැවසූහ.
11එබැවින් දාවිත් තම මිනිසුන් සමඟ බාල්-පෙරාසීම් වෙත පිටත් ව ගොස්, එහිදී ඔවුන් පැරදවී ය. ඔහු කතා කොට, “කඩා බිඳ යන ජල ප්‍රවාහයක් සේ දෙවියන්වහන්සේ මගේ අතින් මගේ සතුරන් කඩා බිඳ දැමූ සේකැ” යි කී ය. එසේ හෙයින් ඒ ස්ථානය බාල්-පෙරාසීම් යන නමින් හැඳින්විණි. 12පිලිස්තිවරු තම දේව පිළිම එහි අතැර දමා ගියහ; එවිට දාවිත්ගේ අණ පරිදි ඒවා ගින්නෙන් පුලුස්සා දැමිණි.
13යළිත් පිලිස්තිවරු පැමිණ, මිටියාවත කොල්ල කෑහ. 14එබැවින් දාවිත් යළි දෙවියන්වහන්සේගෙන් විමසූ කල, දෙවියන්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “ඔවුන්ට පසුපසින් නො යා, ඔවුන් වටකර ගොස්, බාකා ගස් ඉදිරිපිටදී ඔවුන්ට පහර දෙන්න. 15බාකා ගස් මුදුන්හි පිය නගන හඬක් ඇසෙන කල, වහා ක්‍රියාත්මක වන්න. මන්ද ඉන් අදහස් වන්නේ පිලිස්ති හමුදාවට පහර දීමට දෙවියන්වහන්සේ ඔබට පෙරටුවෙන් ගොස් ඇති වග යැ” යි කී සේක. 16එබැවින් දාවිත්, දෙවියන්වහන්සේ තමාට අණ කළ පරිදි ම කළේ ය. ඔවුහු ගිබෙයොන් පටන් ගෙසෙර් දක්වා දිගට පිලිස්ති හමුදාව ගසා හෙළූහ.
17දාවිත්ගේ කීර්තිය හැම දේශයක ම පතළ ව ගියේ ය. ස්වාමින්වහන්සේ සියලු ජාතීන් තුළ ඔහු කෙරෙහි භය ඇති කළ සේක.
දැනට තෝරාගෙන ඇත:
1 ලේකම් 14: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.