රෝම 8:25-39

රෝම 8:25-39 SNRV

එහෙත් අපි නොපෙනෙන දෙයක් බලාපොරොත්තු වෙමු නම්, එය ඉවසිල්ලෙන් යුතුව බලා සිටිමු. එලෙස ම ශුද්ධාත්මයාණන් වහන්සේත් අපගේ දුර්වලකමේ දී අපට ආධාර දෙන සේක. නිසි ලෙස යාච්ඤා කළ යුත්තේ කෙසේ දැ යි අපි නොදනිමු. එහෙත් ශුද්ධාත්මයාණන් වහන්සේ ම වචනවලින් කිය නොහැකි සුසුම්ලෑම්වලින් දෙවියන් වහන්සේ වෙත අප වෙනුවෙන් අයැදින සේක. අප සිත්සතන්හි ඇති සියල්ල විමසා බලන දෙවියන් වහන්සේ ශුද්ධාත්මයාණන්ගේ අයැදුම් දන්නා සේක. මන්ද, ශුද්ධාත්මයාණන්, සැදැහැවතුන් උදෙසා කරන අයැදුම් දේව අදහසට එකඟ වන බැවිනි. තවද දෙවියන් වහන්සේගේ අදහස ලෙස කැඳවනු ලැබූවන්ට, එනම්, උන් වහන්සේට ප්‍රේම කරන අයට, සියල්ලෙහි දී ම උන් වහන්සේ ඔවුන්ගේ යහපත පිණිස ක්‍රියා කරන බව අපි දනිමු. මන්ද, උන් වහන්සේ කලින් තෝරාගත් අය ස්වකීය පුත්‍රයාණන්ගේ ස්වරූපයට සමාන වන පිණිස කල්තියා වෙන් කරගත් සේක. එසේ කෙළේ තමන් වහන්සේගේ පුත්‍රයාණන් බොහෝ සොහොයුරන් අතර ජ්‍යෙෂ්ඨයාණන් වන පිණිස ය. එසේ, කලින් තෝරාගත් අය උන් වහන්සේ කැඳවාගත් සේක; කැඳවාගත් අය උන් වහන්සේ දමිටු බවට පැමිණෙවූ සේක; දමිටු බවට පැමිණෙවූ අය උන් වහන්සේ මහිමයට පැමිණෙවූ සේක. කරුණු මෙසේ නම් කුමක් නිගමනය කරමු ද? දෙවියන් වහන්සේ අපේ පක්ෂයට නම් අපට විපක්ෂ වන්නේ කවරෙක් ද? උන් වහන්සේ තමන්ගේ ම පුත්‍රයාණන් වුව ද ඉතිරි කර නොගෙන, අප හැම උදෙසා පරිත්‍යාග කළ සේක. එසේ නම්, ඒ දීමනාව සමඟ උන් වහන්සේ අන් හැම දෙයක් ම අපට නොමසුරු ව නොදෙන සේක් ද? දෙවියන් වහන්සේ විසින් තෝරාගනු ලැබූ අය වරදට පත් කරන්නේ කවරෙක් ද? ඔවුන් නිවැරදි බව ප්‍රකාශ කරන්නේ දෙවියන් වහන්සේ ය. එසේ නම් ඔවුන් වැරදිකරුවන් බවට තීන්දු කරන්නේ කවරෙක් ද? අප උදෙසා මැරුණේත්, අප උදෙසා මරණයෙන් උත්ථාන වූයේත් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ය. දෙවියන් වහන්සේගේ දකුණු පස වැඩසිටිමින් අප වෙනුවෙන් මැදහත් වන්නේත් උන් වහන්සේ ය. ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන් කළ හැකි කිසිවක් ඇද් ද? විපතට වත්, දුක් වේදනාවට වත්, පීඩාවට වත්, සාගින්නට වත්, දුගී බවට වත්, උවදුරට වත්, කඩුවට වත් අප වෙන් කළ හැකි ද? ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇති ලෙස: “දවස පුරා අපි ඔබ නිසා මරුමුවට පත් වෙමු. ඝාතනයට වෙන් කළ බැටළුවන් මෙන් ගණන් ගනු ලැබුවෙමු.” එහෙත් අපට ප්‍රේම කළ තැනැන් වහන්සේ නිසා අපි මේ සියල්ලේ දී ම විජයග්‍රාහී වෙමු. මන්ද, මරණයට වත්, ජීවිතයට වත්, දේව දූතයන්ට වත්, භූතාධිපතීන්ට වත්, බලධාරීන්ට වත්, දැන් තිබෙන කිසිවකට වත්, මතු පැමිණෙන කිසිවකට වත්, අතී උසට වත්, මහා ගැඹුරට වත්, මුළු විශ්වයෙහි අන් කිසි මැවිල්ලකට වත් අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තුළ ඇති දේව ප්‍රේමයෙන් අප වෙන් කළ නොහැකි බව මම ඒකාන්තයෙන් ම දනිමි.

රෝම 8:25-39 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය