රෝම 8:1-21

රෝම 8:1-21 SNRV

මෙසේ ක්‍රිස්තුන් වහන්සේ තුළ ජීවත්වන්නවුනට විරුද්ධ ව නඩු තීන්දුවක් නැත. ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ වූ ජීවනදායක ආත්මයාණන්ගේ ආධ්‍යාත්මික ප්‍රතිපත්ති, පාපයේ හා මරණයේ නියමයෙන් ඔබ නිදහස් කර ඇත. මිනිස් දුර්වලතා නිසා, ව්‍යවස්ථාවට ඉටු කළ නොහැකි දෙය දෙවියන් වහන්සේ ඉටු කළ සේක. එසේ කෙළේ, පාපයේ බලය බිඳින පිණිස, ස්වකීය පුත්‍රයාණන්ට අපේ පාපී වූ මිනිස් කයට සමාන කයක් දී එවමින්, ඒ මිනිස් කයේ සිටිය දී දෙවියන් වහන්සේ විසින් පාපයට විරුද්ධ ව තීන්දුව දීමෙනි. උන් වහන්සේ එසේ කෙළේ මාංසය අනුව නොව, ආත්මයාණන් අනුව හැසිරෙන අප තුළ නීතියේ නියමයන් ඉටු වන පිණිස ය. මාංසික ලෙස ජීවත් වන්නෝ මාංසික දේවලට ද ආත්මයාණන් අනුව ජීවත් වන්නෝ ආධ්‍යාත්මික දේවලට ද මුළු සිතින් ප්‍රිය කරති. මාංසික චේතනාවේ විපාකය මරණය වේ; ආධ්‍යාත්මික චේතනාවේ විපාකය ජීවනය හා ශාන්තිය වේ. මාංසික චේතනාව දේව විරෝධකමකි. එය දෙවියන් වහන්සේගේ ආඥාවට යටත් නොවූවකි. එසේ ම යටත් නොවන්නකි. මාංසික තෘෂ්ණාවලට වසඟවූවන්ට දෙවියන් වහන්සේ සතුටු කළ නොහැකි ය. එහෙත් දෙවියන් වහන්සේගේ ආත්මයාණෝ සැබැවින් ම ඔබ තුළ වාසය කරන සේක් නම්, ඔබ ජීවත් වන්නේ මාංසික තෘෂ්ණාවල නොව, ආත්මයාණන් තුළ ය. යම් කෙනෙකුට ක්‍රිස්තුන් වහන්සේගේ ආත්මයාණන් නැති නම්, ඔහු උන් වහන්සේට අයිති නැත. එහෙත් ක්‍රිස්තුන් වහන්සේ ඔබ තුළ වැඩ වසන සේක් නම්, පාපය නිසා ඔබේ ශරීරය මැරී ඇතත්, දමිටු බව නිසා ඔබේ ආධ්‍යාත්මය ජීවමාන ය. තවද, ජේසුස් වහන්සේ මළවුන් කෙරෙන් උත්ථාන කළ තැනැන් වහන්සේ ඔබ තුළ වැඩ වසන සේක් නම්, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ මළවුන් කෙරෙන් උත්ථාන කළ තැනැන් වහන්සේ ඔබ තුළ වසන ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන ඔබගේ මරණීය ශරීර ජීවමාන කරන සේක. එබැවින් සහෝදරවරුනි, මාංසයට ගැති ව ජීවත් වීමට අප මාංසයට බැඳී නැත. ඔබ මාංසයට ගැති ව ජීවත් වන්නහු නම් මරණයට පත් වනු ඇත. එහෙත් ආත්මයාණන් මඟින් ඔබ මාංසික ක්‍රියා නසන්නහු නම්, ඔබ සැබැවින් ම ජීවත් වන්නහු ය. දේවාත්මයාණන් විසින් මඟ පෙන්වනු ලබන්නෝ දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ය. මන්ද, ඔබ ලබා ඇත්තේ නැවතත් බිය ගෙන දෙන වහල් සේවයේ තත්ත්වය නොව, “අබ්බා, පියාණෙනි”යි අමතා යාච්ඤා කිරීමට ඉඩ ඇති පුත්‍රකම ලැබීමේ තත්ත්වයකි. අප දෙවියන් වහන්සේගේ දරුවන් බවට ශුද්ධාත්මයාණෝ ම අප ආත්මය හා එක් ව සාක්ෂි දරති. අපි දරුවෝ නම් උරුමක්කාරයෝ ද වම්හ. දෙවියන් වහන්සේගේ උරුමක්කාරයෝ ද ක්‍රිස්තුන් වහන්සේ හා සමඟ හවුල් උරුමක්කාරයෝ ද වම්හ. මන්ද, දැන් උන් වහන්සේගේ දුක් විඳීමේ පංගුකාරයන් වීමෙන්, අනාගතයේ දී උන් වහන්සේගේ මහිමයේ පංගුකාරයෝ ද වම්හ. මේ ජීවිතයේ දුක් වේදනා, අපට මතු එළිදරව් වන්නට යන මහිමය සමඟ කිසි සේත් සැසඳිය නොහැකි ය යි කල්පනා කරමි. මවා ඇති මේ විශ්වය වුව ද දේව පුත්‍රයන්ගේ එළිදරව් වීම පුල පුලා බලා සිටියි. මන්ද, විශ්වය, ශුන්‍යතාවට යටත් කළ තැනැන් වහන්සේ එසේ කෙළේ, විශ්වයේ කැමැත්තෙන් නොව, එසේ යටත් කළ උන් වහන්සේගේ ම බලාපොරොත්තු සහගත කැමැත්තෙනි. ඒ බලාපොරොත්තුව නම් මවා ඇති මේ විශ්වය ජරාපත් වීමේ වහල්කමෙන් මිදී දේව දරුවන්ට හිමි මහිමාන්විත නිදහස ලැබීම ය.

රෝම 8:1-21 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය