රෝම 5:6-15

රෝම 5:6-15 SNRV

අප අනාථ ව සිටිය දී ම ක්‍රිස්තුන් වහන්සේ පව්කාරයන් උදෙසා නියමිත කාලයේ දී සිය දිවි පිදූ සේක. සත් ගුණවත් කෙනෙකු උදෙසා දිවි පිදීමට යමෙකු තුළ ධෛර්යය තිබුනත් එවැන්නෙකු උදෙසා දිවි පිදීමක් සිදුවන්නේ කලාතුරකිනි. අප උදෙසා ඇති දෙවියන් වහන්සේගේ ප්‍රේමය ප්‍රත්‍යක්ෂ වන්නේ අප පව්කාරයන් ව සිටිය දී ම ක්‍රිස්තුන් වහන්සේ අප උදෙසා දිවි පිදූ බැවිනි. ක්‍රිස්තුන් වහන්සේගේ යාගික රුධිරය හේතුවෙන් දමිටු බවට පමුණුවනු ලැබ, උන් වහන්සේ කරණකොටගෙන දේව උදහසින් මිදීම ගැන අපට වඩාත් සහතික ය. අපි සතුරන් ව සිටිය දී ම දේව පුත්‍රයාණන්ගේ මරණය නිසා උන් වහන්සේ සමඟ සමඟි කරනු ලැබුවෙමු නම්, එසේ සමඟි කරනු ලැබූ අපි, දැන් ඊටත් වඩා ක්‍රිස්තුන් වහන්සේගේ ජීවිතය නිසා ගැළවීම ලබමු. එපමණකුත් නොව, දෙවියන් වහන්සේ හා සමඟ නැවත අපට සමඟිය අත් කර දුන් ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින් අපි දෙවියන් වහන්සේ කෙරේ අතිශයින් ප්‍රීති ප්‍රමෝද වෙමු. එක මනුෂ්‍යයෙකු නිසා පාපයත්, පාපය නිසා මරණයත් ලෝකයට පිවිසියාක් මෙන්, සියලු මනුෂ්‍යයන් පව් කළ බැවින්, මරණය මුළු මිනිස් සංහතියට ම පොදු ව පවතී. කිසි ම නීතියක් ඇති වීමට පෙර ලෝකයෙහි පාපය තිබිණි. එහෙත් නීතියක් නැති තැන මිනිසාට විරුද්ධ ව පාපය ගණන් ගනු නොලැබේ. එසේ ව තිබියදීත්, ආදම් පටන් මෝසෙස් දක්වා, ආදම් මෙන් ආඥා කඩ කිරීමෙන් පව් නොකළ අය කෙරේ පවා මරණය රජකම් කෙළේ ය. ආදම් වනාහි එන්නට සිටින තැනැන් වහන්සේ පිළිබඳ පූර්ව ආදර්ශයක් විය. එහෙත් දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයේ ක්‍රියාවත්, ආදම්ගේ පාපී ක්‍රියාවත් අතර සමානත්වයක් නැත. එසේ කියන්නේ, එක මිනිසෙකුගේ පාපය හැම මිනිසාගේ ම මරණයට හේතු වූ නමුත්, දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය හා ජේසුස් ක්‍රිස්තුස් නම් එක මනුෂ්‍යයාගේ දයාන්විත දීමනාව බොහෝ දෙනෙකුට විපුල ආසිරි ගෙන දීමේ අමුතු ම හේතුවක් වූ බැවිනි.